මතවාද ·

පරාජිත දේශපාලනයේ නැවත පැමිණීම සහ ආණ්ඩුවට එරෙහි ව්‍යාජ විකල්ප

රුවන් බංඩාර දිසානායක විසින් ලියන ලද්දකී.

පරාජිත දේශපාලනයේ නැවත පැමිණීම සහ ආණ්ඩුවට එරෙහි ව්‍යාජ විකල්ප

May 29 (Citizen News) - වෝයි ජිජැක් Slavoj Žižek නැවත නැවත පෙන්වා දෙන එක් කරුණක් වන්නේ, සමාජ අර්බුද ඇති වන මොහොතක පැරණි බලවේග “නව විකල්ප” ලෙස නැවත දේශපාලන අවකාශයට පැමිණෙන ආකාරයයි. නමුත් ඒවා සැබෑ විසඳුමක් ඉදිරිපත් නොකරයි. ඒ වෙනුවට, ජනතා කෝපය, භීතිය, ජාතිවාදය, සංස්කෘතික අනාරක්ෂිතභාවය සහ බලාපොරොත්තු බිඳවැටීම දේශපාලන ප්‍රාග්ධන භාණ්ඩ බවට පත් කරගනිති. අද ශ්‍රී ලංකාවේ ද, ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන ඇතැම් කණ්ඩායම් දෙස බලන විට, ජිජැක් විස්තර කරන එම “ideological fantasy” හෙවත් ව්‍යාජ දේශපාලන නාටකය ඉතා පැහැදිලිව දක්නට ලැබේ.

2022 අරගලයෙන් පසු ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලනය අද නැවත විවිධ වෙස්මූණු දමා පැමිණෙමින් සිටී. සමහරු ජාතිවාදය යළි අවුස්සති. තවත් සමහරු “ප්‍රජාතන්ත්‍රවාදය” ගැන කතා කරමින් තමන්ගේම පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් වලදමයි. තවත් පිරිසක් දූෂණයට එරෙහිව කතා කරන අතරම දූෂිත ව්‍යාපාරිකයන්, පැරණි කොමිස් දේශපාලනය සහ බලය සදහා ඕනෑම ගනුදෙනුවක් කිරීමට සූදානම් කණ්ඩායම් සමග සන්ධාන ගොඩනඟති.

ජිජැක් පවසන පරිදි, පරාජිත දේශපාලනයේ ප්‍රධාන උපක්‍රමය වන්නේ “සැබෑ ගැටලුව” වෙනුවට “කල්පිත සතුරෙකු” ජනතාවට පෙන්වීමයි. ආර්ථික අසමත්භාවය, නව ලිබරල් සූරාකෑම, දූෂිත පාලන ව්‍යුහ සහ පන්තිමය බලය ගැන කතා නොකර, ජාතිය, ආගම, භාෂාව හෝ සංස්කෘතිය වටා ජනතාව සංවිධානය කිරීමට උත්සාහ කිරීම එහි ප්‍රධාන ලක්ෂණයකි. එම නිසා නාමල් රාජපක්ෂගේ දේශපාලනය අද පෙනෙන්නේ අලුත් ව්‍යාපෘතියක් ලෙස නොව, අවසන් වී ගිය පරණ ජාතිවාදී කැසට් පටයක් නැවත වාදනය කිරීමක් ලෙසය. නාමල් රාජපක්ෂ නියෝජනය කරන්නේ අනාගතය නොව, 2005–2019 අතර දේශපාලන මතකයේ දිගුවකි. නව පරපුරකට රැකියා, දැනුම, තාක්ෂණය, නිෂ්පාදනය හෝ සාධාරණ ආර්ථිකයක් ගැන දැක්මක් නොමැතිව, “රට බේරාගත්” අතීතය පමණක් දේශපාලන ප්‍රාග්ධනයක් කර ගැනීමෙන් ඉදිරියට යා නොහැක.

අනෙක් පසෙහි සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ද ගැඹුරු විවේචනයකට ලක්විය යුතුය. ඔහු බොහෝවිට ජනප්‍රිය වාක්‍ය, සහන පොරොන්දු සහ චිත්තවේගීය කථා භාවිතා කළද, රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය සංකල්පීය දැක්මක් හෝ නව ආර්ථික-දේශපාලන මාර්ගසටහනක් ඉදිරිපත් කර නැත. වඩාත් බරපතළ කරුණ වන්නේ, ඔහු වටා එක්ව සිටින බොහෝ දෙනා පරණ දූෂිත දේශපාලන සංස්කෘතියේම නියෝජිතයන් වීමයි. ජනතාව 2022දී ප්‍රතික්ෂේප කළ පරණ පාලන ක්‍රමයම නව වෙස්මූණු දමා නැවත ඉදිරිපත් කිරීමෙන් විකල්පයක් බිහි නොවේ. ජිජැක්ගේ භාෂාවෙන් කියන්නේ නම්, මෙය 'වෙනසක් නැති වෙනසක්' change without change— වෙනසක් ලෙස අලෙවි කරන එහෙත් ඇත්තටම කිසිදු ව්‍යුහාත්මක වෙනසක් නොවන දේශපාලනයකි.

ඒ අතර, ආණ්ඩුවට එරෙහිව අද සමාජ මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන ඇතැම් ජාතිවාදී සහ අන්තවාදී කණ්ඩායම් ද සැබෑ විකල්පයක් නොව, අර්බුදයෙන් ජීවත් වන දේශපාලන පරපෝෂිතයන් ලෙස පෙනේ. ඔවුන්ට වැඩපිළිවෙලක් නැත. ආර්ථික සැලැස්මක් නැත. නව රාජ්‍ය දැක්මක් නැත. ඇතැම්විට ඔවුන්ගේ එකම දේශපාලන ව්‍යාපෘතිය වන්නේ කෝපය නිෂ්පාදනය කිරීමය. ජිජැක් කියන ආකාරයට, මෙවැනි කණ්ඩායම් ජනතාවගේ අසාර්ථකත්වය “අනෙකා” මත පටවා, සැබෑ පද්ධතිමය ගැටලු සැඟවීමට උත්සාහ කරති.

මෙම සන්දර්භය තුළ අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වීම, සියලු ගැටලු විසඳා අවසන් කළ අවසාන ජයග්‍රහණයක් නොවූවත්, පරණ පවුල්වාදී, දූෂිත සහ ජාතිවාදී බලවේගවලට එරෙහිව ජනතාව ලබාදුන් වැදගත් දේශපාලන තීරණයක් ලෙස සැලකිය යුතුය. එය ආරක්ෂා කළ යුතු වන්නේ පුද්ගල වන්දනාවක් නිසා නොව, අවම වශයෙන් පරණ දේශපාලන ඒකාධිපත්‍යයට යළි ආපසු යාම වැළැක්වීම සඳහාය. ඕනෑම ආණ්ඩුවක් විවේචනයට ලක්විය යුතුය. එහෙත් විවේචනය යනු පරණ දූෂිත ව්‍යුහ නැවත බලයට ගෙන ඒම සඳහා කරන මෙහෙයුමක් විය නොහැක.

ජිජැක්ගේ අදහසක් අනුව, සැබෑ දේශපාලනය ආරම්භ වන්නේ “පරණ ලෝකය” තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව තේරුම් ගන්නා තැනදීය. ශ්‍රී ලංකාවේ අභියෝගය වන්නේ ද පරණ ජාතිවාදී සටන් පාඨ, පවුල්වාදය, මාධ්‍ය නාට්‍ය සහ හිස් ජනප්‍රියවාදය අභිබවා, නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමය. එසේ නොමැතිව, “විකල්පය” ලෙස පැමිණෙන්නේ නැවතත් අර්බුදයම වනු ඇත.

මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.