August 18 (Citizen News) - ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් මේ දිනවල මතුව ඇති විවාදය බැලූ බැල්මට තවත් එක් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවක් ලෙස පෙනියා හැකිය. එහෙත් එයට යටින් ඇත්තේ ඊට වඩා බරපතළ ප්‍රශ්නයකි.
ආණ්ඩුවක් අලුත් ජනවරමක් මත රාජ්‍ය පද්ධතිය වෙනස් කරන විට, එම යෝජිත වෙනස පොදු යහපත සඳහාම බව තීරණය කරන්නේ කෙසේද? එම පොදු යහපත ආරක්ෂා කරන අතරම ආණ්ඩුවේ බලය සහ අධිකරණයේ ස්වාධීනත්වය අතර සීමාව පවත්වා ගන්නේ කෙසේද?
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ නැංවීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති පියවර මේ ප්‍රශ්නය දේශපාලන හා නීතිමය සංවාදයේ මධ්‍යයට ගෙනැවිත් තිබේ. ආණ්ඩුවේ අදහස අනුව මෙය කිසිදු පුද්ගලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට වාසි සැලසීම සඳහා ගෙන එන වෙනසක් නොව, “පොදු යහපත” common good සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණයකි. මෙම තර්කය සරලව බැහැර කළ නොහැක. එහෙත් එය සරලව පිළිගත හැකිද යන්නද වෙනම ප්‍රශ්නයකි.
පොදු යහපත යනු කුමක්ද?
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ වඩාත්ම බලවත් වචනවලින් එකක් වන්නේ “පොදු යහපත” යන්නයි. ආණ්ඩුවක් යම් ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් එය පොදු යහපත සඳහා යැයි පැවසූ විට, එම අරමුණ ප්‍රතික්ෂේප කිරීම පහසු නැත. ජනතාවට කඩිනම් යුක්තිය අවශ්‍යය. නඩු වසර ගණනාවක් ඇදී යාම වැළැක්වීම පොදු යහපතකි. අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම පොදු යහපතකි. පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය රඳවා ගැනීම ඇතැම් අවස්ථාවල පොදු යහපතකට හේතු විය හැකිය.
එහෙත් මෙහි වැදගත් ප්‍රශ්නය වන්නේ: පොදු යහපතක් ඇති බව පෙන්වීම පමණක් ප්‍රමාණවත්ද? නැත. ප්‍රජාතන්ත්‍රවාදයේදී පොදු යහපතක් සාධනය කිරීම සඳහා යොදා ගන්නා මාර්ගයද පරීක්ෂාවට ලක් විය යුතුය.
එබැවින් අද අප ඇසිය යුත්තේ “විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම පොදු යහපතක්ද?” යන්න පමණක් නොවේ. “එය පොදු යහපත සාක්ෂාත් කර ගැනීමට අවශ්‍යම, සුදුසුම සහ ආයතනික වශයෙන් ආරක්ෂිතම ක්‍රමවේදයද?” යන්නයි.
ආණ්ඩුවේ තර්කය
ආණ්ඩුව ඉදිරිපත් කරන මූලික තර්කය සරලය. ශ්‍රී ලංකාවේ අධිකරණවල නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබේ. විනිසුරුවරුන්ගේ හිඟයක්ද පවතී. ඒ අතර පළපුරුදු විනිසුරුවරුන් නියමිත විශ්‍රාම වයසට පැමිණීමෙන් පද්ධතියට ඇති අත්දැකීම් සහ ධාරිතාව අහිමි වේ. එබැවින් වසර දෙකක සේවා දිගුවක් ලබාදීමෙන් පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගත හැකි අතර, නඩු කඩිනම් කිරීමට එය දායක විය හැකි බව ආණ්ඩුව පෙන්වා දෙයි.
මෙය සම්පූර්ණයෙන්ම අතාර්කික තර්කයක් නොවේ. යුක්තිය ප්‍රමාද වීමෙන් වින්දිතයාටත්, විත්තිකරුටත්, සමාජයටත් හානියක් සිදුවේ. අධිකරණ පද්ධතියේ අකාර්යක්ෂමතාවය ආර්ථික සංවර්ධනයටත්, ආයෝජනයටත්, නීතියේ ආධිපත්‍යයටත් බලපායි. එබැවින් “නඩු ඉක්මනින් අවසන් කිරීම” යනු නිසැකවම පොදු යහපතකි.
නමුත් මෙහිදී තවත් ප්‍රශ්නයක් පැන නගී. නඩු ප්‍රමාදයට මූලික හේතුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසද? නඩු ගොඩගැසීමේ රෝගයට විශ්‍රාම වයස එකම ඖෂධයද? අධිකරණ පද්ධතියේ නඩු ප්‍රමාදය ඇති වන්නේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව අඩු වීමෙන් පමණක් නොවේ.පොලිස් විමර්ශනවල ප්‍රමාදය, රජයේ විශ්ලේෂණාගාර හා විශේෂඥ වාර්තා ප්‍රමාද වීම, නීතිඥයන් විසින් නඩු කල්දැමීමට කරන ඉල්ලීම්, නඩු කළමනාකරණයේ දුර්වලතා, අධිකරණ යටිතල පහසුකම්, තාක්ෂණික පහසුකම් හා නීතිමය ක්‍රියාපටිපාටි යන සියල්ල ඒ සඳහා බලපායි.
එසේ නම් විශ්‍රාම වයස වැඩි කිරීම විසඳුමේ එක් කොටසක් විය හැකි නමුත්, එය සමස්ත ගැටලුවේ විසඳුමක් නොවේ. ආණ්ඩුවේ “පොදු යහපත” තර්කය සැබවින්ම ශක්තිමත් වීමට නම්, එය දත්ත මගින් පෙන්විය යුතුය.
දැනට පවතින විනිසුරු පුරප්පාඩු කොපමණද එම පුරප්පාඩු පිරවිය නොහැක්කේ ඇයි? විශ්‍රාම වයස වසර දෙකකින් වැඩි කිරීමෙන් වසරකට නඩු කොපමණ ප්‍රමාණයක් අමතරව විසඳිය හැකිද?
නඩු ප්‍රමාදයට විනිසුරු හිඟය කොපමණ ප්‍රමාණයකින් දායක වේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු නොමැතිව “පොදු යහපත” යන වචනය පමණක් ප්‍රමාණවත් සාධාරණීකරණයක් නොවේ.
22 වන සංශෝධනය සහ පොදු යහපත
ආණ්ඩුව මෙම වෙනස 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් සිදු කිරීමට අදහස් කරන බව පවසයි. මෙහිදී තවත් මූලික ප්‍රශ්නයක් පැන නගී. ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබීම සහ එම බලය යම් නිශ්චිත අවස්ථාවක භාවිත කිරීම සාධාරණ වීම එකම දෙයක් නොවේ.
ආණ්ඩුවට ජනවරමක් ඇත. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇත. එබැවින් අවශ්‍ය ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග ගෙන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමට එයට නීත්‍යානුකූල බලය තිබිය හැකිය. එහෙත් ජනවරම යනු සීමා රහිත බලපත්‍රයක් නොවේ.
ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම පවතින්නේ බහුතරයට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි වීම තුළ නොව, බහුතරය පවා ව්‍යවස්ථාමය හා ආයතනික සීමාවන්ට යටත් වීම තුළය.එබැවින් 22 වන සංශෝධනය පිළිබඳ විවාදය “ආණ්ඩුවට මේක කරන්න පුළුවන්ද?” යන්නෙන් අවසන් නොවිය යුතුය. එහිදි ඇසිය යුතු වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ: “මෙය කිරීමට අවශ්‍ය තරම් ප්‍රජාතන්ත්‍රවාදී හා ආයතනික සාධාරණීකරණයක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබේද?” යන්නයි.
“පොදු යහපත” සහ “දේශපාලන අභිලාෂය” අතර සීමාව
මෙහි ඇති ඉතා සංවේදී ප්‍රශ්නය වන්නේ ආණ්ඩුවේ අභිලාෂයයි. ආණ්ඩුව මෙම සංශෝධනය ගෙන එන්නේ යම් විනිසුරුවරයෙකුගේ සේවා කාලය දීර්ඝ කිරීමට හෝ අධිකරණයට දේශපාලන බලපෑමක් ඇති කිරීමට බව කියා නිශ්චිත සාක්ෂියක් නොමැති අවස්ථාවක, එවැනි චෝදනාවක් කිරීම සාධාරණ නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේදී අභිලාෂය පමණක් නොව, අභිලාෂයක් ඇති බවට පෙනී යා හැකි අවකාශයද වැදගත්ය.
අධිකරණය සම්බන්ධයෙන් මහජන විශ්වාසය රඳා පවතින්නේ විනිසුරුවරුන් සැබවින්ම ස්වාධීන වීම මත පමණක් නොවේ. ඔවුන් ස්වාධීන බවට මහජනයාට ඇති විශ්වාසය මතද එය රඳා පවතී. එබැවින් ආණ්ඩුවේ අභිලාෂය සැකයට භාජනය නොවන ආකාරයට මෙම ප්‍රතිසංස්කරණය සැලසුම් කිරීම ආණ්ඩුවේම වගකීමකි.
විපක්ෂයේ අභිලාෂය ගැනද ප්‍රශ්නයක් තිබේ
ඒ සමඟම විපක්ෂය සම්බන්ධයෙන්ද ඉහත මිනුමම යෙදිය යුතුය. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම විපක්ෂයේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී වගකීමකි. නමුත් සෑම ආණ්ඩු ප්‍රතිසංස්කරණයක්ම ආණ්ඩුවේ බල අභිලාෂයක් ලෙස හඳුන්වා දීමෙන් පමණක් විපක්ෂයට තම වගකීම ඉටු කළ නොහැක.
නඩු ගොඩගැසීම සැබෑ ප්‍රශ්නයක් නම් එයට විසඳුමක් අවශ්‍යය. විනිසුරුවරුන්ගේ හිඟයක් තිබේ නම් එය පිරවිය යුතුය. පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීම ප්‍රයෝජනවත් නම්, එයද සාකච්ඡා කළ හැකිය.එබැවින් විපක්ෂයේ වගකීම වන්නේ විරුද්ධයි යනුවෙන් කීම පමණක් නොව, පොදු යහපත ආරක්ෂා කරන විකල්ප අධිකරණ ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කිරීමය.
2024 ජනවරම මෙහිදී වැදගත්ය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ දේශපාලන පද්ධතියේ වෙනසක් පිළිබඳ දැවැන්ත මහජන අපේක්ෂාවක් සමඟය. එබැවින් ආණ්ඩුවට අද ඇති විශාලම දේශපාලන ප්‍රාග්ධනය වන්නේ එහි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව පමණක් නොවේ. “වෙනස් ආකාරයකට පාලනය කරන්නෙමු” යනුවෙන් එය ජනතාව තුල ඇතිකල විශ්වාසයයි.
එම නිසා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේදී ආණ්ඩුවෙන් ජනතාවට වඩාත් පැහැදිලි සාධාරණීකරණයක් අවශ්‍ය වීම ස්වාභාවිකය.ජනතාව අසන්නේ, “ආණ්ඩුවට මෙය කළ හැකිද?”යන්න පමණක් නොවේ. ඔවුන් අසන්නේ, “ආණ්ඩුව මෙය කරන්නේ ඇයි, මෙය කිරීමෙන් පොදු යහපතට ලැබෙන නිශ්චිත ප්‍රතිලාභය කුමක්ද, සහ අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ කෙසේද?” යන්නයි.
සැබෑ පොදු යහපත කුමක්ද? පොදු යහපත යනු ආණ්ඩුව විසින් අර්ථ දක්වන දෙයක් පමණක් නොවේ. එය මහජනයා, විපක්ෂය, වෘත්තීය සංවිධාන, නීති විශාරදයන් සහ ස්වාධීන ආයතන සමඟ සංවාදයෙන් පරීක්ෂා කළ යුතු සංකල්පයකි.
ආණ්ඩුව කියන “පොදු යහපත” විය හැක්කේ කාර්යක්ෂම අධිකරණයකි. නීතිඥ සංගමය කියන “පොදු යහපත” විය හැක්කේ ස්වාධීන අධිකරණයකි. විපක්ෂය කියන “පොදු යහපත” විය හැක්කේ බලය සීමා කිරීමයි. ජනතාවගේ “පොදු යහපත” විය හැක්කේ කඩිනම් හා සාධාරණ යුක්තියයි. ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මේ සියල්ලම පොදු යහපතේ කොටස්ය.
එබැවින් එක් අංගයක් සාක්ෂාත් කර ගැනීමට තවත් අංගයක් විනාශ නොකළ යුතුය. අපට අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ අධිකරණයක්ද?ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුවට පහසු අධිකරණයක් නොවේ. විපක්ෂයට පහසු අධිකරණයක්ද නොවේ. අපට අවශ්‍ය වන්නේ නීතියට පක්ෂපාතී, ස්වාධීන, කාර්යක්ෂම හා මහජන විශ්වාසය දිනාගත් අධිකරණයකි.
ඒ සඳහා විශ්‍රාම වයස වෙනස් කිරීම අවශ්‍ය නම්, එය පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ පැකේජයක කොටසක් විය හැකිය. එහෙත් එය පමණක් ප්‍රතිසංස්කරණය ලෙස ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවේ.
නඩු කළමනාකරණය, ඩිජිටල්කරණය, විනිසුරු පුරප්පාඩු පිරවීම, අධිකරණ යටිතල පහසුකම්, නීතිඥයන්ගේ කල්දැමීම්, පොලිස් විමර්ශන, රජයේ විශ්ලේෂණාගාර සේවා සහ විකල්ප ආරවුල් විසඳීම යන සියල්ල එකට සම්බන්ධ කළ යුතුය. එවිට 22 වන සංශෝධනය විනිසුරුවරුන්ගේ සේවා කාලය දිගු කිරීමේ පනතක් නොව, අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල ව්‍යාපෘතියක එක් අංගයක් බව ජනතාවට පැහැදිලි කළ හැකිය.
අවසාන පරීක්ෂණය
අවසානයේ මෙම විවාදයේදී වැදගත්ම ප්‍රශ්නය වන්නේ 65 ද 67 ද? යන්න නොවේ. වැදගත් ප්‍රශ්නය වන්නේ: පොදු යහපත නමින් රාජ්‍ය බලය භාවිත කරන විට, එම පොදු යහපත සැබවින්ම පොදුද, එය සාක්ෂාත් කර ගැනීමට යොදාගන්නා ක්‍රමය සාධාරණද, සහ එම ක්‍රියාවලිය අනාගතයේ බලය අයුතු ලෙස භාවිත කිරීමේ දොරටුවක් විවෘත නොකරන්නේද? යන්නයි. ආණ්ඩුවේ “පොදු යහපත” තර්කය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමත් වැරදිය. එය කිසිදු ප්‍රශ්නයක් නොමැතිව පිළිගැනීමත් ඊට වඩා භයානකය.

ආචාර්ය අතුලසිරි සමරකෝන්
Digital creator Lecturer at Open University of Sri Lanka
Former Teaching Assistant at University of Colombo
මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.