මතවාද · · 1 min read

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ අභියෝගය: කන්නන්ගර සිට ජාතික ජන බලවේගය දක්වා

ආචාර්ය අතුලසිරි සමරකෝන්ගේ විසින් ලියන ලද්දකී.

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ අභියෝගය: කන්නන්ගර සිට ජාතික ජන බලවේගය දක්වා

August 18 (Citizen News) - ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීම පහසුය. එහෙත් අධ්‍යාපනය වෙනස් නොකර රටක් වෙනස් කළ හැකිද? ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය යනු පාසල්, විභාග, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල පිළිබඳ පමණක් වූ ප්‍රශ්නයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සමාජ සාධාරණත්වය, පන්තිමය සංචලනය, රාජ්‍යයේ වගකීම, මධ්‍යම පන්තියේ බලාපොරොත්තු සහ රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයකි. එබැවින් අධ්‍යාපනය වෙනස් කිරීමට උත්සාහ කරන සෑම ආණ්ඩුවක්ම අවසානයේ දේශපාලන ප්‍රශ්නයකට මුහුණ දෙයි.

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ යුතු බව කවුරුත් කියති. එහෙත් කුමක් වෙනස් කළ යුතුද, කෙසේ වෙනස් කළ යුතුද, කවුරුන් සඳහා වෙනස් කළ යුතුද සහ ඒ සඳහා වියදම් කරන්නේ කෙසේද යන ප්‍රශ්න මතු වූ විට එකඟතාවය බිඳ වැටෙයි.

අද ජාතික ජන බලවේග ආණ්ඩුව මුහුණ දෙන්නේ ද එම පැරණි ප්‍රශ්නයටය. එහෙත් මෙවර තත්ත්වය මීට පෙරට වඩා වෙනස්ය. ලෝකය කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය, ස්වයංක්‍රීයකරණය සහ නව දැනුම් ආර්ථිකයක් දෙස වේගයෙන් ගමන් කරමින් සිටියදී, ශ්‍රී ලංකාව තවමත් විභාග කේන්ද්‍රගත, මතකය මත පදනම් වූ අධ්‍යාපන පද්ධතියක් තුළ සිරවී සිටී. (ඩිජිටල් පරිවර්තනය හරහා දරුවන්ගේ කායික මානසික තත්ත්වය ට සිදුවන දැඩි බලපෑම වෙනම සාකච්ඡා කරමු).

එබැවින් ප්‍රශ්නය දැන් "අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුද?" යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ අප ප්‍රතිසංස්කරණ නොකළහොත් කුමක් සිදුවේද යන්නයි.

කන්නන්ගරගේ විප්ලවයෙන් පසු

ශ්‍රී ලංකාවේ නවීන අධ්‍යාපන ඉතිහාසය ගැන කතා කරන විට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර නාමය මඟහැරිය නොහැක. 1940 දශකයේ ඇති වූ නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහය වෙනස් කළ දැවැන්ත මැදිහත්වීමකි.

එය හුදෙක් "නොමිලේ අධ්‍යාපනය" ලබාදීමක් නොවීය. එය සමාජයේ පහළ ස්ථරවල දරුවන්ට ඉහළට නැගීමට දොරටුවක් විවෘත කළ සමාජ ප්‍රතිසංස්කරණයකි. ගමේ දරුවාට වෛද්‍යවරයෙකු වීමටත්, ගොවියාගේ දරුවාට විශ්වවිද්‍යාලයට යාමටත්, දුප්පත් පවුලක දරුවෙකුට රාජ්‍ය සේවයට ඇතුළුවීමටත් හැකි වූයේ මේ අධ්‍යාපන පද්ධතිය හරහාය.

එබැවින් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආර්ථික ප්‍රතිපත්තියකට වඩා වැඩි දෙයකි. එය සමාජ ගිවිසුමකි. එය තේරුම් නොගෙන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදය කළ නොහැක.

ප්‍රතිසංස්කරණවලට එරෙහි ප්‍රතිරෝධය ඇතිවන්නේ ඇයි?

නිදහස් අධ්‍යාපනයේ ජයග්‍රහණය සමඟම එහි සීමාවන්ද වර්ධනය විය. ජනගහනය වැඩි විය. විශ්වවිද්‍යාල ප්‍රවේශය පුළුල් විය. රැකියා වෙළෙඳපොළ වෙනස් විය. තාක්ෂණය වේගයෙන් ඉදිරියට ගියේය. නමුත් අධ්‍යාපන පද්ධතිය ඒ වේගයෙන් වෙනස් වූයේ නැත.

ඒ නිසා විවිධ ආණ්ඩු විවිධ අවස්ථාවල ප්‍රතිසංස්කරණ ගෙන ආවේය. නමුත් සෑම අවස්ථාවකම එකම දේශපාලන රටාවක් දක්නට ලැබුණි. ප්‍රතිසංස්කරණ යෝජනා වේ. විරෝධය ඇතිවේ. දේශපාලන විවාදය උණුසුම් වේ.
ප්‍රතිසංස්කරණ දුර්වල වේ. අවසානයේ පද්ධතිය බොහෝ දුරට පෙර තිබූ ආකාරයටම පවතී. මෙය ගුරුවරුන්ගේ හෝ ශිෂ්‍යයන්ගේ වරදක් පමණක් නොවේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය දැක්වීමට සැබෑ හේතු තිබේ. ප්‍රතිසංස්කරණයක් මඟින් ගුරුවරයාගේ සේවා කොන්දේසි වෙනස් විය හැකිය. විෂය නිර්දේශ වෙනස් වීමෙන් ගුරුවරුන්ට නව පුහුණුවක් අවශ්‍ය විය හැකිය. විභාග ක්‍රමය වෙනස් කිරීමෙන් සිසුන්ගේ අනාගතය පිළිබඳ දෙමාපියන්ට අවිනිශ්චිතතාවයක් ඇති විය හැකිය. එබැවින් ප්‍රතිරෝධය සම්පූර්ණයෙන්ම ප්‍රතිගාමී දෙයක් ලෙස බැහැර කිරීමද වැරදිය. එහෙත් අනෙක් අන්තයට යාමද එතරම්ම භයානකය. වෙනස්කමක් ඇති වූ සෑම අවස්ථාවකම එය "නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක්" ලෙස හැඳින්වීමෙන් රටකට අනාගතයක් ගොඩනැගිය නොහැක.

NPP පැමිණෙන්නේ වෙනස් පොරොන්දුවක් සමඟය

ජාතික ජන බලවේගය බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කළ අධ්‍යාපන දැක්ම තුළ වැදගත් කරුණු කිහිපයක් තිබුණි. රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීම, අධ්‍යාපනය සඳහා රාජ්‍ය ආයෝජනය වැඩි කිරීම, පාසල් අතර ඇති විෂමතාව අඩු කිරීම, ගුරු වෘත්තිය ශක්තිමත් කිරීම, පර්යේෂණ හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය අධ්‍යාපනය පුළුල් කිරීම සහ තාක්ෂණික දැනුම වැඩි කිරීම එහි ප්‍රධාන අදහස් අතර විය.

එය වැදගත් දේශපාලන වෙනසකි. මන්ද NPP දේශපාලනයේ මූලික අදහසක් වන්නේ රාජ්‍යය විසින් අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම භාරගත යුතු බවයි. එහෙත් බලයට පැමිණි පසු ආණ්ඩුවට හමුවූයේ ප්‍රතිපත්ති ලේඛනයකින් විසඳිය නොහැකි යථාර්ථයකි.

රට ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් සිටී. රාජ්‍ය ආදායම සීමිතය. රාජ්‍ය වියදම් පාලනය කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය රජයේ මූල්‍ය අවකාශය සීමා කරයි. එබැවින් මෙහි මූලික ප්‍රශ්නය වන්නේ: NPP තමන්ගේ ප්‍රතිපත්තිය අත්හැර තිබේද? නැත.
එහෙත් එය තම මුල් ප්‍රතිපත්තිය යථාර්ථයේ සීමාවන් තුළ නැවත හැඩගැසෙමින් සිටින බවක් පෙනේ.

පෙර ආණ්ඩුවේ ප්‍රතිපත්තිය NPP විසින් අත්හැර තිබේද?

මෙහි තවත් වැදගත් කරුණක් ඇත. වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ල NPP විසින් 2024 දී ආරම්භ කළ ඒවා නොවේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව හරහාත්, පසුගිය ආණ්ඩු හරහාත්, 2019 පමණ සිටම විෂයමාලා, නිපුණතා, තාක්ෂණය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවිධ වැඩසටහන් සකස් වෙමින් තිබුණි.

මෙය දේශපාලන වශයෙන් වැදගත් කරුණකි.
NPP ආණ්ඩුව බලයට පැමිණි පසු එම සියලු වැඩසටහන් ඉවත දමා "අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පමණක්" ක්‍රියාත්මක කළේ නැත.
ඒ වෙනුවට පෙර පැවති ප්‍රතිසංස්කරණ රාමුවේ කොටස්ද තම දේශපාලන දැක්ම සමඟ සම්බන්ධ කරගෙන ඉදිරියට ගෙන යන බවක් පෙනේ.
මෙය එක් අතකින් ප්‍රතිපත්ති අඛණ්ඩතාවකි.
අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයක එය අත්‍යවශ්‍යය.

ආණ්ඩුවක් මාරු වන සෑම අවස්ථාවකම අධ්‍යාපන ප්‍රතිපත්තිය අලුතින් ලියන්නේ නම්, දරුවෙකුට වසර 13ක අධ්‍යාපනයක් ලැබෙන අතර ඔහුට ආණ්ඩු පහක අධ්‍යාපන ප්‍රතිපත්ති අත්විඳීමට සිදුවනු ඇත.

නමුත් NPP ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රත්පත්තියට විරෝධතාව එල්ලවුනේ ඇයි? අද NPP ආණ්ඩුවට එරෙහි අධ්‍යාපන ප්‍රතිරෝධය තේරුම් ගැනීමට නම් එය දේශපාලනිකව පමණක් නොව සමාජීය වශයෙන්ද කියවිය යුතුය. ගුරුවරුන්ට ප්‍රශ්න තිබේ. දෙමාපියන්ට ප්‍රශ්න තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රශ්න තිබේ. ශිෂ්‍යයන්ට ප්‍රශ්න තිබේ.

විෂයමාලා වෙනස්කම්, නව ඇගයීම් ක්‍රම, තාක්ෂණික අධ්‍යාපනය, වෘත්තීය මාර්ග සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ සාධාරණ ප්‍රශ්න ඉදිරිපත් වෙමින් තිබේ. ආණ්ඩුවේ අභියෝගය වන්නේ මේ විරෝධතා සියල්ල "පරණ ක්‍රමයට ඇලී සිටින පිරිස්වල විරෝධයක්" ලෙස හෝ දේශපාලන විපක්ෂයේ විරෝධතාවක් ලෙස සරලව ගැනීම නොවේ. ඒ වෙනුවට ප්‍රතිසංස්කරණවල සමාජ හිමිකාරීත්වය ගොඩනැගීමයි. ප්‍රතිසංස්කරණය ආණ්ඩුවේ ව්‍යාපෘතියක් නොව, රටේ ව්‍යාපෘතියක් බවට පත් කළ යුතුය.

අධ්‍යාපනයට 6%ක් – පොරොන්දුව සහ යථාර්ථය

NPP අධ්‍යාපන දැක්මේ වැදගත්ම දේශපාලන පොරොන්දුවක් වූයේ අධ්‍යාපනය සඳහා රාජ්‍ය ආයෝජනය සැලකිය යුතු ලෙස වැඩි කිරීමයි.
මෙය අත්‍යවශ්‍ය ඉල්ලීමකි. එහෙත් "GDPයෙන් 6%" යන ඉලක්කය දේශපාලන සටන් පාඨයක් බවට පත් කර ගැනීමෙන් පමණක් ගැටලුව විසඳෙන්නේ නැත.

අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ: එම මුදල වියදම් කරන්නේ කෙසේද? ගුරුවරුන්ගේ වැටුප් සඳහාද?
පාසල් ගොඩනැගිලි සඳහාද? ඩිජිටල් උපකරණ සඳහාද? විශ්වවිද්‍යාල පර්යේෂණ සඳහාද? ශිෂ්‍ය ආධාර සඳහාද? නැතහොත් පරිපාලන වියදම් සඳහාද? අධ්‍යාපනයේ මුදල් වැඩි කිරීම පමණක් නොව එම මුදල් දැනුම නිෂ්පාදනය කරන ආකාරයට භාවිත කිරීම වඩාත් වැදගත්ය.

අපේ සැබෑ අර්බුදය: පාසලෙන් පසු සිදුවන්නේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවාදය බොහෝ විට පාසල වටා ගොඩනැගී ඇත. නමුත් අධ්‍යාපන පද්ධතියේ ඊළඟ විශාල අර්බුදය ඇත්තේ විශ්වවිද්‍යාලයේය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සීමිතය. පර්යේෂණ සඳහා සම්පත් සීමිතය. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවෝත්පාදන සංස්කෘතිය ප්‍රමාණවත් තරම් ශක්තිමත් නැත. ඉහළම දක්ෂතා ඇති තරුණයන් විශාල සංඛ්‍යාවක් රට හැර යති. මේ තත්ත්වය "brain drain" ලෙස හඳුන්වා අවසන් කළ නොහැක. එය රටේ දැනුම් ප්‍රාග්ධනය අහිමි වීමකි.

රජයක් වසර ගණනාවක් මුදල් වැය කර වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු, විද්‍යාඥයෙකු, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හෝ තාක්ෂණික විශේෂඥයෙකු බිහිකරයි. ඔහු හෝ ඇය අවසානයේ වෙනත් රටකට ගියහොත් ශ්‍රී ලංකාවට අහිමි වන්නේ පුද්ගලයෙකු පමණක් නොවේ. අහිමි වන්නේ දැනුමයි.

21 වැනි සියවසේ විශ්වවිද්‍යාලය කුමක් විය යුතුද?

අපේ විශ්වවිද්‍යාලය තවමත් 20 වැනි සියවසේ ආකෘතියකින් ක්‍රියාත්මක වන්නේ නම් 21 වැනි සියවසේ ආර්ථිකයකට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කළ නොහැක. අද විශ්වවිද්‍යාලය විය යුත්තේ දැනුම බෙදා දෙන ස්ථානයක් පමණක් නොවේ.

එය, දැනුම නිෂ්පාදනය කරන ස්ථානයකි. නවෝත්පාදනය කරන ස්ථානයකි. ප්‍රශ්න විසඳන ස්ථානයකි. ප්‍රතිපත්ති සකස් කිරීමට දැනුම සපයන ස්ථානයකි. කර්මාන්ත සමඟ සම්බන්ධ වන ස්ථානයකි.

මෙහිදී Open and Distance Learning වැනි ආකෘතිවලටද විශාල අවකාශයක් තිබේ. ශ්‍රී ලංකාව වැනි රටකට සෑම දරුවෙකුම සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයකට රැගෙන යාම ප්‍රායෝගික නොවේ. තාක්ෂණය භාවිත කරමින් ජීවිත කාලය පුරා ඉගෙනීමට අවස්ථාව ලබාදීම අනාගතයේ අධ්‍යාපනයේ මූලික ලක්ෂණයක් විය යුතුය.

AI පැමිණ ඇති විට අපි තවමත් මතකය පරීක්ෂා කරන්නේ ඇයි?

21 වැනි සියවසේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික ප්‍රශ්නය මෙයයි. කෘත්‍රිම බුද්ධිය තත්පර කිහිපයකින් තොරතුරු සොයාගත හැකි ලෝකයක, ශිෂ්‍යයාගේ මතක ශක්තිය පමණක් පරීක්ෂා කිරීමේ අර්ථය කුමක්ද? AI මගින් රචනා ලිවිය හැකි ලෝකයක, රචනා මත පදනම් වූ ඇගයීම් පද්ධතිය කෙසේ වෙනස් කළ යුතුද? AI විසින් භාෂා පරිවර්තනය කළ හැකි ලෝකයක, භාෂා අධ්‍යාපනයේ අරමුණ කුමක් විය යුතුද?


AI විසින් දත්ත විශ්ලේෂණය කළ හැකි ලෝකයක, අපේ සිසුන්ට දත්ත කියවීම, ප්‍රශ්න කිරීම සහ තීරණ ගැනීම ඉගැන්විය යුතු නොවේද?
එබැවින් 21 වැනි සියවසේ අධ්‍යාපනයේ අවධානය "දැනුම මතක තබා ගැනීමෙන්" "දැනුම භාවිත කිරීම" වෙත මාරු විය යුතුය. AI මිනිසා වෙනුවට පත් කිරීමට නොව, මිනිසාගේ හැකියාව වැඩි කිරීමට භාවිත කළ යුතුය.

විභාග යනු අධ්‍යාපනය නොවේ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ තවත් ගැඹුරු ගැටලුවක් වන්නේ විභාගය සාර්ථකත්වයේ ප්‍රධාන මිනුම බවට පත්වීමයි. දරුවාට "දරැවන්ට කොච්චර ලකුණු ලැබුණාද?" යන්න අසනවා මිස,
"දරුවා මොනවාද නිර්මාණය කළේ?" "ඇයට ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්ද?" "ඔහුට කණ්ඩායමක් සමඟ වැඩ කරන්න පුළුවන්ද?"
"දරුවාට වෙනත් කෙනෙකුගේ අදහසකට ගරු කරමින් තර්ක කරන්න පුළුවන්ද?" යන ප්‍රශ්න අසන්නේ කලාතුරකිනි. ඒ නිසා අනාගත අධ්‍යාපනයේදී විභාගය තිබිය යුතු නමුත් විභාගය අධ්‍යාපනය නොවිය යුතුය.

වෘත්තීය අධ්‍යාපනයට අලුත් ගෞරවයක්

ශ්‍රී ලංකාවේ සමාජයේ තවත් ගැඹුරු ගැටලුවක් වන්නේ විශ්වවිද්‍යාල උපාධියට අධික සමාජ ගෞරවයක් ලබාදීම සහ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය පහළ මට්ටමකට තැබීමයි. මෙය වෙනස් කළ යුතුය.

21 වැනි සියවසේ රටකට අවශ්‍ය වන්නේ උපාධිධාරීන් පමණක් නොවේ. හොඳ තාක්ෂණික ශිල්පීන් අවශ්‍යය. විදුලි ඉංජිනේරු තාක්ෂණිකයන් අවශ්‍යය. සෞඛ්‍ය තාක්ෂණිකයන් අවශ්‍යය. AI සහ data technicians අවශ්‍යය. නවීන කෘෂිකර්මාන්තය දන්නා වෘත්තීයවේදීන් අවශ්‍යය.
එබැවින් වෘත්තීය අධ්‍යාපනය "විශ්වවිද්‍යාලයට යාමට නොහැකි අය සඳහා" වූ මාර්ගයක් ලෙස නොව, ආර්ථිකයට අවශ්‍ය ඉහළ නිපුණතා ඇති වෘත්තීය මාර්ගයක් ලෙස සැලකිය යුතුය.

නිදහස් අධ්‍යාපනය රැකීම යනු වෙනස්කමට විරුද්ධ වීම නොවේ මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවාදයේ වඩාත් වැදගත් වෙනසක් විය යුතුය.
නිදහස් අධ්‍යාපනය රැකීම යනු අධ්‍යාපන පද්ධතියේ කිසිදු වෙනසකට විරුද්ධ වීම නොවේ. ඒ වෙනුවට එහි සැබෑ අර්ථය වන්නේ සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට සමාන අවස්ථාවක් තහවුරු කිරීමයි.

ගමේ දරුවාට ලැබෙන්නේ නගරයේ දරුවාට ලැබෙන තාක්ෂණික අවස්ථාවට සමාන අවස්ථාවක් නොවේ නම්, නිදහස් අධ්‍යාපනයේ නීතිමය සමානතාවක් තිබුණත් ප්‍රායෝගික සමානතාවක් නැත.

ඒ නිසා අද අධ්‍යාපනයේ ප්‍රශ්නය "නිදහස්" ද "නැද්ද" යන්න පමණක් නොවේ. එය "සමානාත්මතාව සිතද" "එසේ නොමැතිද" යන්නයි.

ඉදිරි ජාතික අධ්‍යාපන සම්මුතිය

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ තවත් එක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පැකේජයක් නොවේ. අවශ්‍ය වන්නේ අවුරුදු 20–25ක ජාතික අධ්‍යාපන සම්මුතියකි. ආණ්ඩු මාරු වුවත් මූලික ප්‍රතිපත්ති නොවෙනස් වන සම්මුතියකි.

එහි මූලික කරුණු විය හැක්කේ:

මේවා කිසිදු තනි පක්ෂයක ප්‍රතිපත්ති විය යුතු නැත. ඒවා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති විය යුතුය.

NPP ආණ්ඩුවට ඇති ඓතිහාසික අවස්ථාව

ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙහිදී සුවිශේෂී අවස්ථාවක් තිබේ. එය තමන්ට පෙර ආණ්ඩු කළ දේවල් සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ දේශපාලනයකට නොයා, හොඳ ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව පෙන්විය යුතුය. ඒ සමඟම තමන් පොරොන්දු වූ රාජ්‍ය ආයෝජනය, සමානාත්මතාව, ගුරු වෘත්තීය සංවර්ධනය, පර්යේෂණ සහ තාක්ෂණය සම්බන්ධයෙන් ප්‍රායෝගික ප්‍රගතියක් පෙන්විය යුතුය.

වඩාත් වැදගත් වන්නේ ප්‍රතිසංස්කරණ ජනතාවට පැහැදිලි කිරීමයි. ප්‍රතිසංස්කරණයක් කරන්නේ ඇයි? එයින් දරුවාට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?
ගුරුවරයාට සිදුවන වෙනස කුමක්ද? විශ්වවිද්‍යාලයට ලැබෙන වෙනස කුමක්ද?
රටේ ආර්ථිකයට එයින් ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? මෙවැනි ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු නොමැති නම්, හොඳම ප්‍රතිසංස්කරණයකට වුවද ජනතා විශ්වාසය ලබා ගැනීම අපහසුය.

අවසානයේ ප්‍රශ්නය වන්නේ අධ්‍යාපනය නොවේ.
අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන විට අවසානයේ කතා කරන්නේ රටේ අනාගතය ගැනයි. අද පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවා 2040 දශකයේ රැකියා වෙළෙඳපොළට පිවිසෙනු ඇත. එදා ඔහු හෝ ඇය කරන රැකියාව අද අප දන්නා රැකියාවක් නොවිය හැකිය. එබැවින් 2026 දී අපේ දරුවන්ට 1990 දශකයේ ලෝකය සඳහා නිර්මාණය කළ අධ්‍යාපනය ලබා දිය නොහැක.

කන්නන්ගර අපට ලබා දුන්නේ සමාජ සාධාරණත්වය මත පදනම් වූ අධ්‍යාපනයකි.

21 වැනි සියවස අපෙන් ඉල්ලා සිටින්නේ එම සාධාරණත්වය නව දැනුම, තාක්ෂණය, නිර්මාණශීලීත්වය සහ ගෝලීය තරඟකාරීත්වය සමඟ සම්බන්ධ කරන නව අධ්‍යාපන ගිවිසුමකි.


එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි වීමෙන් පමණක් නිදහස් අධ්‍යාපනය රැකෙන්නේ නැත. ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් අවසානයේ සිදුවන්නේ නිදහස් අධ්‍යාපනයේ අර්ථයම දුර්වල වීමයි. අපට අවශ්‍ය වන්නේ පැරණි අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කිරීම නොවේ. කන්නන්ගරගේ සමාජ සාධාරණත්වයේ ආත්මය රැකගෙන, 21 වැනි සියවසට ගැළපෙන අලුත් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීමයි.

එය කළ හැකි නම්, NPP ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තවත් එක් ආණ්ඩුවක ප්‍රතිපත්ති මාලාවක් නොවනු ඇත.
එය ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ දෙවන විප්ලවය විය හැකිය. එය අසාර්ථක වුවහොත්, අපට තවත් වසර ගණනාවක් "අධ්‍යාපනය වෙනස් කළ යුතුය" යන එකම වාක්‍යය නැවත නැවතත් කියමින් සිටීමට සිදුවනු ඇත.

ආචාර්ය අතුලසිරි සමරකෝන්

Digital creator Lecturer at Open University of Sri Lanka

Former Teaching Assistant at University of Colombo 

මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.