මතවාද ·

අර්බූදයේ මනෝභාවය සහ දේශපාලන ගැටුම

ආචාර්ය අතුලසිරි සමරකෝන්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද්දකී.

අර්බූදයේ මනෝභාවය සහ දේශපාලන ගැටුම

May 26 (Citizen News) - ජන බලවේගය ආණ්ඩුව යම් මොහොතක අසාර්ථක වේ යැයි යන 'මනෝභාවය' සමාජය තුළ නිර්මාණය කිරීම මේ මොහොතේ විපක්ෂයේ සහ ආණ්ඩුවට විරුද්ධ මාධ්‍ය බලවේගවල ප්‍රධාන කාර්යයක් බව පෙනෙයි. අප එය මීට ඉහතදී ද සාකච්ඡා කළෙමු. ආර්ථික දුෂ්කරතා, ඩොලර් අර්බූදය, බදු ප්‍රතිපත්ති, ජීවන වියදම සහ පරිභෝජනය කඩාවැටීම ආදී සියල්ල දේශපාලනිකව භාවිතා කරමින් “ආණ්ඩුවට සම්පූර්ණ කාලයම බලයේ සිටිය නොහැකිය” යන මනෝභාවය ජනතාව තුළ ඇතිකොට එය ආණ්ඩු විරෝධී කලකිරීමක් බවට පත්කිරීමට ගන්නා උත්සාහයක් පවතී. නමුත් එය එක් තනි පූද්ගලයකුගේ හෝ කණ්ඩායමක පමණක් උත්සාහයක් ද නොවෙයි.

සමහරවිට විප්ලවයෙන් පසු ලෙනින් මුහුණ දුන් අර්බූදය අනුව බලන විට මෙය සරල ආර්ථික අර්බූදයක් පමණක් නොව, 'බලය අහිමි කිරීමට හෝ අල්ලා ගැනීමට භාවිතා කරන ඓතිහාසික අවස්ථාවක්' ද වේ. 'ද්විත්ව බලය' (dual power) පිළිබඳ ලෙනින් කළ විග්‍රහය තුළින් හඳුනාගත හැකි පරිදි රාජ්‍ය බලය යනු පවතින ආණ්ඩුවේ බලය පමණක් නොව, සමාජයේ විවිධ මතවාදී, සංවිධානාත්මක සහ ජනප්‍රිය බලවේග අතරද බෙදී පවතින දෙයක් බව පෙනෙයි. එම අර්ථයෙන් මේ මොහොතේ ආණ්ඩුවේ ආර්ථික පරිපාලනමය පාලනය පමණක් නොව, 'ජන මනස' ද පාලනය කිරීම පිළිබඳ සටනක් පවතී.

නමුත් ආණ්ඩුවට පවතින ප්‍රධාන වාසිය සමහරවිට විපක්ෂය තුළ පවතින දෘෂ්ටිවාදීමය බෙදීම විය හැක. විපක්ෂය තුළ එක්සත් මතවාදයක් නැත. එහි ජාතිකවාදී කඳවුරක් පවතී. ජාතිවාදී භික්ෂූන්, ඒකාබද්ධ විපක්ෂයේ කොටස්, විමල් වීරවංස, උදය ගම්මන්පිල වැනි බලවේග මෙම ජාතිකවාදී ප්‍රතිචාරය ගැඹුරු ලෙස පලකරයි. කලක් මාක්ස්වාදී-ලෙනින්වාදී භාෂාවෙන් කතා කළ වීරවංස අද සිංහල-බෞද්ධ ආරක්ෂකවාදයේ ප්‍රධාන කථිකයෙකු වී සිටීම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිදුවන ඇති විකෘති පරිණාමයන් පිළිබඳ උදාහරණයකි. මතවාදය වෙනුවට බලය සහ ජාතික හැඟීම් කේන්ද්‍ර කරගත් දේශපාලනයකට ඔහු ගමන් කර ඇත. ලෙනින්ගේ දෘෂ්ටියෙන් මෙය 'සුළු ධනපති ජාතිකවාදය' ලෙස හැඳින්විය හැකි ය. අර්බූදකාරී සමාජයක ජනතාව මුහුණ දෙන අනාරක්ෂිතභාවය, ජාතිකත්වය සහ ආගමික හැඟීම් හරහා දේශපාලන ප්‍රාග්ධනයක් බවට පත් කරගැනීමට විපක්ෂයේ ප්‍රබල පාර්ශවයක් ඒ අනුව ක්‍රියා කරයි.

එසේම චම්පික රණවක වැනි චරිතද දැන් ආණ්ඩුවට එරෙහි ප්‍රධාන වේදිකාවට පැමිණීම විශේෂත්වයකි. කලක් 'තාක්ෂණික නවීනවාදය' සහ 'සංවර්ධන ජාතිකවාදය' ගැන කතා කළ ඔහු දැන් ආණ්ඩුව පෙරළීමේ විපක්ෂ බලවේගය සංයෝජනයේ දී එහි ප්‍රධාන කොටසක් බවට පත්ව ඇත. එජාපය, පොහොට්ටුව, ශ්‍රීලනිපය, ජාතිකවාදී කණ්ඩායම්, වෙළඳපල ලිබරල්වාදීන් සහ පැරණි දේශපාලන බලවේග — මේ සියල්ල එකම වේදිකාවකට පැමිණීමේ උත්සාහය තුළ පවතින්නේ 'මතවාදී එකඟතාවයක්' නොව කෙසේ හෝ 'බලය නැවත අල්ලා ගැනීමේ අවශ්‍යතාවය' බව පැහැදිලි ය.

එසේම මේ මොහොතේ විපක්ෂයේ අභ්‍යන්තර අරගලයක්ද පවතී. සජිත් ප්‍රේමදාස තවමත් සම්පූර්ණයෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදයට යටත් වී නැති නායකයෙකු ලෙස පෙනෙයි? එය ඔහුගේ ශක්තියක්ද දුර්වලතාවයක්ද යන්න තීරණය වන්නේ දැනට නිර්මාණය වෙමින් පවතින දේශපාලන මනෝභාවය මතය. ඔහු ජාතිවාදී මනෝභාවයට එරෙහි නම් එයට විරුද්ධ බව ප්‍රබලව හැගවිය යුතු ය. සමහර බලවේග සිතන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම ජාතිකවාදයට එරෙහි මධ්‍යස්ථ ලිබරල් පිළිතුරක් බවයි. නමුත් ජාතිකවාදී කඳවුර ඔවුන් ගැන පූර්ණ විශ්වාසයක් තබන්නේ නැත. ඒ නිසාම ජාතිකවාදී විපක්ෂය සිතන්නේ අනුර කුමාර දිසානායක පරාජය කිරීමට ලිබරල් බලවේග පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

මෙම පසුබිම තුළ ආණ්ඩුවේ ප්‍රධාන අභියෝගය ආර්ථිකය පමණක් නොවේ; 'ස්ථාවරභාවය' පිළිබඳ විශ්වාසය ගොඩනැගීමට පවතින වාතාවරණය තුළ එය වහාම ක්‍රියාත්මක විය යුතුය. ඩොලරයේ අගය, IMF ණය වාරික, ආනයන පාලනය, බලශක්ති පිරිමැසුම, රාජ්‍ය වියදම් පාලනය සියල්ල ආර්ථික මෙවලම් පමණක් නොව දේශපාලන මෙවලම්ද වේ. ලෙනින් 1921 නව ආර්ථික ප්‍රතිපත්තිය (NEP) හඳුන්වා දුන්නේද විප්ලවය රැක ගැනීමට තාවකාලික ආර්ථික යථාර්ථවාදයක් අවශ්‍ය වූ නිසාය. එහිදී පාරිශුද්ධ මතවාදය වෙනුවට රාජ්‍යය රැකගැනීම ප්‍රමුඛ විය. අද ශ්‍රී ලංකාවේද ආණ්ඩුවට අවශ්‍ය වන්නේ විප්ලවවාදී ප්‍රකාශ නොව, 'රට නැවත කඩා වැටෙන්නේ නැත' යන මානසික විශ්වාසය ජනතාව තුළ ඇති කිරීමයි.

එසේම හර්ෂ ද සිල්වා වැනි ආර්ථික ලිබරල්වාදීන් පෙන්වා දෙන්නේ වෙළඳපල තුළ විශ්වාසය ගොඩනැගීමේ වැදගත්කමයි. මෙය නව-ලිබරල් ආර්ථික භාෂාවක් වුවද, දේශපාලනිකව බලන විට එය 'අපේක්ෂාව කළමනාකරණය' කිරීමකි. ආර්ථිකය බොහෝවිට සංඛ්‍යා මත නොව විශ්වාසය මත ගමන් කරයි. ආණ්ඩුව ස්ථාවර බව, නායකත්වය තුළ බෙදීමක් නොමැති බව සහ අභ්‍යන්තර ගැටුම් නැති බව පෙන්වීම වෙළඳපල සහ ජනතාව යන දෙපාර්ශවයටම වැදගත් වේ.

ඒ නිසාම අනුර කුමාර දිසානායක, හරිනි අමරසූරිය සහ ටිල්වින් සිල්වා අතර ඇති එකමුතුව පිළිබඳ ප්‍රශ්න මතු කිරීම විපක්ෂයේ මූලික මූලෝපායකි. ඕනෑම ආණ්ඩුවක් බිඳවැටෙන්නේ බාහිර ප්‍රහාරයකින් පමණක් නොව, අභ්‍යන්තර විශ්වාසභංගයකින් බව ඉතිහාසය පෙන්වා දෙයි. ටිල්වින් සිල්වාගේ ප්‍රකාශ, අනුර සහ එජාපය අතර ඇති බව කියන රහස් එකඟතා, හර්ෂ ද සිල්වා සමඟ ඇති සංවාද ආදී සියල්ල 'ජවිපෙ තුළ අභ්‍යන්තර විරෝධයක් පවතී' යන අදහස නිර්මාණය කිරීමට භාවිතා කරයි. ග්‍රාම්ෂිගේ භාෂාවෙන් කියන්නේ නම්, මෙය 'හෙජමොනිය බිඳ දැමීම' සඳහා සහ ආණ්ඩුවේ මතවාදීමය නායකත්වය දුර්වල කිරීම සඳහා වන උපායකි.

නමුත් මෙම සියලු දේශීය ගැටුම් සහ අර්බූද ලෝක දේශපාලනයෙන් වෙන් කළ නොහැක. අද එක පසෙකින් ලෝකයම අර්බූදයක් වෙත ගමන් කරමින් තිබේ. ඇමරිකානු-චීන බල තරගය, මැදපෙරදිග යුද්ධය, බලශක්ති අර්බූද, ගෝලීය ණය අර්බූද, දේශගුණික ව්‍යසන ආදී සියල්ල කුඩා රටවලට දැඩි බලපෑම් ඇති කරයි. ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයකට 'පූර්ණ ස්වෛරී තීරණ' ගැනීමේ හැකියාව සීමිතය. එවැනි අවස්ථාවක ආණ්ඩුවකට අවශ්‍ය වන්නේ විප්ලවීය රොමෑන්ටිකත්වය නොව, මූලෝපායික ඉවසීමයි. වත්මන් ආණ්ඩුව එය මනාව මේ දක්වා පෙන්වා ඇත.

ලෙනින් කියු පරිදි 'විප්ලවීය තත්ත්වයක්' යනු පාලකයන්ට පෙර පරිදි පාලනය කරගත නොහැකි වන අවස්ථාවක් සහ ජනතාවට පෙර පරිදි ජීවත් විය නොහැකි වන අවස්ථාවක් එකවිට ඇතීවීම විය හැක. ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයක පළමු අර්ධය පසුකර ඇත. නමුත් එවැනි තත්ත්වයකින් පසුව ඇති විශාලම ප්‍රශ්නය වන්නේ 'රාජ්‍යය ස්ථාවර කරන්නේ කෙසේද?' යන්නයි. වර්තමානයේ පවතින තත්වය එයයි.

වත්මන් ආණ්ඩුවේ ඓතිහාසික අභියෝගය වන්නේ ආර්ථිකය පාලනය කිරීම පමණක් නොව, අරාජිකත්වය ද පාලනය කිරීමයි. විපක්ෂය ආණ්ඩුව අසාර්ථකත්වනු ඇතැයි යන අපේක්ෂාව මත දේශපාලනය කරන විට, ආණ්ඩුව ස්ථාවරභාවය, පිරිමැසුම්වාදය, විශ්වාසය සහ සංවිධානාත්මක එකමුතුව මත දේශපාලනය කළයුතුය. එහි සාර්ථකත්වය තීරණය කරන්නේ සංඛ්‍යාත්මක ආර්ථික වර්ධනය තුළින් පමණක් නොව, 'ආණ්ඩුවට රාජ්‍ය මෙහෙයවිය හැකිය' යන හැඟීම ජනතාව තුළ වඩාත් ශක්තිමත් ව දිගටම පවත්වා ගත හැකිද යන සාධකය මතය.

ආචාර්ය අතුලසිරි සමරකෝන් Digital creator Lecturer at Open University of Sri Lanka Former Teaching Assistant at University of Colombo 

මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.