May 30 (Citizen News) - වත්මන් ආණ්ඩුව බෞද්ධ ජාතිකවාදී බලවේග හමුවේ දන නමන බවට වන තර්කය යම් පිරිසක් විසින් මතුකිරීමට උත්සාහ කරන අතර එය දාර්ශනිකව විග්‍රහ කරන පිරිස් ජවිපෙ ඓතිහාසික භාවිතාව එහිදී ප්‍රශ්න කරයි. නමුත් මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය විග්‍රහ කිරීමේදී මතුවන වැදගත්ම ප්‍රශ්නයක් වන්නේ කුමක්ද? ප්‍රතිහෙජමොනික (පවතින සංකෘතික-දේශපාලන බල සමස්ථාධිපත්‍යට එරෙහි) සටන් පාඨද නැත්නම් මූලෝපායිකව බලය ස්ථාවරව තබා ගැනීමද?
එම නිසා වාර්ගික-ආගමික-සංස්කෘතික හෙජමොනියට එරෙහි ප්‍රති-හෙජමොනික counter hegemonic දේශපාලනයක් ගොඩනැගීම සහ රාජ්‍ය බලය ස්ථාවරව පවත්වා ගැනීම සහ මූලෝපායික දේශපාලන දිශාව අතර ඇතිවන ආතතිය ඉතා පැහැදිළිය. බොහෝ ප්‍රගතිශීලී කවයන් තුළ පවතින මතයක් වන්නේ, වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු සිංහල බෞද්ධ සංස්කෘතික හෙජමොනියට සෘජුව අභියෝග කළ යුතුව තිබූ බවයි. එහෙත්, එවැනි තර්ක බොහෝවිට හෙජමොනිය යනු කුමක්ද යන්න පිළිබඳ සංකීර්ණ ඓතිහාසික සහ දේශපාලනික ස්වභාවය අවම කර තක්සේරු කරයි.
ග්‍රාම්ස්චිගේ හෙජමොනි සංකල්පය තුළ, හෙජමොනිය යනු හුදෙක් රාජ්‍ය බලය නොව, පොදුජන අවබෝධය (common sense) නිර්මාණය කිරීමේ බුද්ධිමය සහ සදාචාරමය නායකත්වයකි. එය පාසල, ආගම, පවුල, මාධ්‍ය, ඉතිහාසය, ජාතික මතකය සහ සංස්කෘතික සංකේත හරහා පරම්පරා ගණනාවක් පුරා නිර්මාණය වන දීර්ඝකාලීන සමාජ බලයකි. එවැනි බලයක් ආණ්ඩු බලය මාරු වීමක් සමග කඩිනමින් බිඳ වැටෙන්නේ නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම සහ රාජ්‍යය අතර පවතින සම්බන්ධය යනු හුදෙක් දේශපාලන සන්ධානයක් පමණක් නොව, ඓතිහාසිකව ගොඩනැගුණු ඓන්ද්‍රීය සම්බන්ධතාවයකි. යටත්විජිත විරෝධය, ජාතික රාජ්‍ය ගොඩනැගීම, සිංහල භාෂා ව්‍යාපාරය, ග්‍රාමීය සමාජ සංවිධානය සහ පශ්චාත්-නිදහස් දේශපාලනය යන සියල්ල මේ සමග සම්බන්ධ වී ඇත.
එබැවින්, එවැනි හෙජමොනියකට අභියෝග කිරීම යනු සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයකට පහසුවෙන් කළ හැකි දෙයක් නොව, ගැඹුරු සමාජ-සංස්කෘතික විප්ලවයක කාර්ය භාරයකි. එය නීති සංශෝධන කිහිපයකින් හෝ දේශපාලන ප්‍රකාශන කිහිපයකින් සරළව ඉටු කළ නොහැක. එවැනි පරිවර්තනයක් සඳහා අවශ්‍ය වන්නේ නව බුද්ධිමය සම්ප්‍රදායක්, නව ජනප්‍රිය සංස්කෘතියක්, නව පුරවැසි අවබෝධයක් සහ දීර්ඝකාලීන ආයතනික වැඩපිළිවෙලකි. මෙහිදී ජවිපෙ පක්ෂයක් ලෙස ඒ පිළිබඳව ඓතිහාසිකව ක්‍රියාකල ආකාරයේ පවතින ගැටලු සංවාද කිරීම සාධාරණ තත්ත්වයකි.
මෙහිදී ජවිපෙ/ජාජබ දේශපාලනය පිළිබඳ ඉතිහාසය වැදගත් වේ. ජවිපෙ ආරම්භයේ සිටම ග්‍රාමීය සිංහල තරුණ පදනමක් මත ගොඩනැගුණු ව්‍යාපාරයකි. එහි නායකත්වය, විශේෂයෙන් රෝහණ විජේවීර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාමාංශික පක්ෂ මෙන් සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තරවාදී හෝ ආගම-රාජ්‍ය වෙන්කිරීමේ රැඩිකල් ජනරජවාදී දේශපාලනයක් වෙත ගමන් කළේ නැත. ඊට ප්‍රතිවිරුද්ධව, ජවිපෙ ක්‍රමයෙන් සිංහල බෞද්ධ පොදුජන අවකාශය සමග සම්මුතියක් ගොඩනගා ගත්තේය. 1980 දශකයේ අගභාගයේදී එය වඩාත් ප්‍රකට විය. එම නිසා ජවිපෙ කිසිදාක සැබෑ අර්ථයෙන් ප්‍රති-හෙජමොනික සංස්කෘතික ව්‍යාපෘතියක් බවට පත්වූයේ නැත.
නමුත්, මෙය හුදෙක් අසාර්ථකභාවයක් හෝ දුර්වලතායක් ලෙස පමණක් කියවීමද ප්‍රමාණවත් නොවේ. මන්ද, ජවිපෙ වැනි පක්ෂයක් එවැනි මාවතක් තෝරාගැනීම පිටුපස සමාජීය සහ මූලෝපායික හේතු තිබුණි. ශ්‍රී ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ දේශපාලනික පොදුජන අවබෝධය තුළ බෞද්ධ ජාතිකවාදය, රාජ්‍යය සහ ආරක්ෂාව යන සංකල්ප එකිනෙකට බැඳී තිබේ. එබැවින්, එම පදනමෙන් එන දේශපාලන ව්‍යාපාරයක් හදිසියේම රැඩිකල්/ ලෞකික-ප්‍රතිහෙජමොනික ව්‍යාපෘතියක් බවට පත් වීම දේශපාලනිකව අතිශය දුෂ්කරය.
විශේෂයෙන්ම වත්මන් ජාජබ ආණ්ඩුව බලයට පත් වූ ආකාරය සලකා බැලූ විට මෙය තවත් පැහැදිලි වේ. එය හුදෙක් ප්‍රගතිශීලී නාගරික අරගලකරුවන්ගෙන් පමණක් සැකසෙන ආණ්ඩුවක් නොවීය. එය විශ්‍රාමික හමුදා සාමාජිකයන්, රාජ්‍ය සේවකයන්, ග්‍රාමීය පහළ මධ්‍යම පන්තිය, රාජපක්ස දේශපාලනය සමග කලකිරුණු බහුතර සිංහල බෞද්ධ ජනතාව, සහ රට බේරාගැනීම පිළිබඳ ජාතික-සදාචාරමය කල්පනාවක් ඇති පිරිස් ඇතුළු පුළුල් සමාජ සන්ධානයක ප්‍රතිඵලයකි. එම ඡන්ද දායකයා බොහෝවිට බෞද්ධ වර්ගවාදය පිළිබඳ ගැඹුරු විවේචනාත්මක කියවීමක් කරන දේශපාලනිකව රැඩිකල් පුද්ගලයෙකු නොවන බව පැහැදිලි ය. ඇයගේ/ඔහුගේ ගේ ඡන්දය බොහෝවිට දූෂණයට එරෙහි කෝපය, ආර්ථික අර්බුදය, රාජපක්ස පවුල් පාලනය පිළිබඳ කලකිරීම සහ 'සාධාරණ, දූෂණ විරෝධී පාලනයක්' පිළිබඳ අපේක්ෂාව මත ගොඩනැගුණු එකකි.
මෙවැනි තත්ත්වයක් තුළ, ආණ්ඩුව කඩිනමින් බෞද්ධ සංස්කෘතික හෙජමොනියට සෘජු අභියෝගයක් එල්ල කළහොත්, එය ප්‍රගතිශීලී පරිවර්තනයකට වඩා වේගවත් ප්‍රතිවිප්ලවයක් කැඳවීමේ අවදානමක් දරන බවට සාධාරණ තර්කයක් පවතී. විශේෂයෙන් ම පසූගිය දා ඕමල්පේ සෝභිත හිමි විසින් ගෙනා යෝජනාවට සමගාමීව බෞද්ධ ස්වාමීන් වහන්සේලා අතර විනය ගැටළුව ආමන්ත්‍රණයට අවශ්‍ය නීතිමය පහසූකම් සැලසීම පිළිබඳව ජනාධිපති වරයා එකගවීම අප කියවා ගත යුත්තේ බහුතර සිංහල බෞද්ධ ජනයාගේ අපේක්ෂාවන් ද සමගය. හුදු ලෙස බෞද්ධ ආගමික බලවේගයට නොසලකා ඒමත ආණ්ඩු බලය පතුරනවාට වඩා ප්‍රතිසංස්කරණ පැමිණිය යුත්තේ ද සංඝ සමාජයෙන්ම බව ජනාධිපතිවරයා පිළිගන්නා බව පෙනෙයි. එය අතිශය වැදගත් ප්‍රයෝජ්‍යතාවාදී මානයකි.
විශේෂයෙන්ම සමකාලීන දේශපාලනයේ විශාල ගැටලුවක් වන්නේද මෙයයි. එනම් ගෝලීය වශයෙන්ම නව-ගතානුගතිකවාදය සහ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදය වේගයෙන් නැගී එන අතර, සංස්කෘතික ආරක්ෂාව පිළිබඳ භීතිය ඒවායේ ප්‍රධාන දේශපාලන මූලෝපාය බවට පත්ව ඇත.එම තත්වය තුල දේශීය ආගමික සංස්ථාපිතය සමග ගනුදෙනු කරන භාෂාව ජනාධිපතිවරයා අවබෝධ කරගෙන තිබෙයි. එය වාමාංශික බලවේගයන්ගේ විවේචනයට හසුවිය හැකි වුවත්, රාජ්‍ය බලය සහ පවතින කඩිනම් ආතතීන් ට අනුව බලන විට සාධාරණ ස්ථාවරයකි.
ස්ලාවොයි ජිජෙක් නිතර පෙන්වා දෙන්නේ, ලිබරල් හෝ වාමාංශික ප්‍රගතිශීලීත්වය ජනතාවගේ ඓන්ද්‍රීය සංස්කෘතික භීතින් සහ අනන්‍යතා සමග වැඩ නොකරන විට, එය ප්‍රතිවාදී බලවේගවලට ඉඩ සලසන බවයි. එනම්, 'ප්‍රගතිශීලීත්වය' සමාජයේ පොදුජන අවබෝධය බවට පත් නොවූ අවස්ථාවක, වේගවත් සංස්කෘතික ප්‍රහාරයන් බොහෝවිට අන්ත දක්ෂිණාංශික ප්‍රතිචාරයක් ජනනය කරයි.
එබැවින්, ප්‍රති-හෙජමොනික දේශපාලනයේ වැදගත්කම ප්‍රතික්ෂේප කළ නොහැක. ශ්‍රී ලංකාව දිගුකාලීනව ප්‍රජාතන්ත්‍රවාදී, බහුත්වවාදී සහ පුරවැසි සමානාත්මතාව මත පදනම් වූ ජනරජයක් බවට පත්වීමට නම්, ජනවාර්ගික-ආගමික හෙජමොනිය පිළිබඳ විවේචනාත්මක සංවාදයක් අනිවාර්ය වේ. නමුත්, එය ක්ෂණික දේශපාලන නියෝගයකින් ඉටු කළ හැකි දෙයක් නොවේ.
ඒ සඳහා අවශ්‍ය වන්නේ: නව ව්‍යවස්ථාමය සම්මුතියක්, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම,පුරවැසිභාවය පිළිබඳ නව ජනරජවාදී අවබෝධයක්, අධ්‍යාපනික සහ සංස්කෘතික ප්‍රතිසංස්කරණ, සහ දීර්ඝකාලීන බුද්ධිමය-දේශපාලන වැඩපිළිවෙලකි.
එබැවින්, වත්මන් ප්‍රශ්නය ආණ්ඩුව ප්‍රමාණවත් තරම් රැඩිකල් නොවීම පමණක් නොව, ප්‍රති-හෙජමොනික පරිවර්තනයක් සහ දේශපාලන ස්ථාවරභාවය අතර සමතුලිතතාවය කෙසේ ගොඩනගාගත යුතුද යන්නයි. එම සමතුලිතතාවය නොමැති විට, ප්‍රති-හෙජමොනික දේශපාලනය පවා අවසානයේ ප්‍රතිවිප්ලවයට ඉඩ සලසන අසාර්ථක මූලෝපායක් බවට පත්විය හැකිය.

ආචාර්ය අතුලසිරි සමරකෝන් Digital creator Lecturer at Open University of Sri Lanka Former Teaching Assistant at University of Colombo
මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.