May 23 (Citizen News) - "ඊළඟ අර්බුදය කියන්නේ විය හැකි දෙයක් නෙවෙයි, නමුත් එය වනතුරු කාලය ගණනය කළ හැක"
"Another crisis isn't a possibility. It's a countdown"
පහුගිය අර්බුදකාරී තත්ත්වයන් සහ වත්මන් ආර්ථික දේශපාලන වාතාවරණය දෙස බලන විට, රට නැවතත් බරපතළ අවදානමක සීමාවට පැමිණ ඇති බව ඉතා පැහැදිලියි.
රුපියල මත එල්ල වන පීඩනය, ගෝලීය දේශපාලන වෙනස්වීම් සහ දේශගුණික තර්ජන හමුවේ අප වහාම අවදි විය යුතු මොහොතක් උදා වී තිබෙනවා.
අද වන විට අපේ රට මුහුණ දී සිටින ප්‍රධාන අභියෝග කිහිපයක් නම්:
- රුපියල දැඩි පීඩනයක: ගෝලීය වෙළෙඳපොළේ බලපෑම් හමුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතිනවා. මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල නැවතත් ඉහළ යාමේ අවදානමක් මතු වෙලා.
- එල් නිනෝ (El Niño) දේශගුණික තර්ජනය: ලෝක කාලගුණ විද්‍යා සංවිධානවල දත්ත අනුව මේ මැයි-ජූලි මාසවල සිට එල් නිනෝ තත්ත්වය දරුණු වෙමින් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මාසවලදී නිරිතදිග මෝසම් වැසි අඩුවී, දැඩි උෂ්ණත්වයක් සහ නියඟයක් ඇතිවිය හැකි අතර, වසර අගදී හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැක. මෙය අපේ කෘෂිකර්මාන්තයට මෙන්ම ජල විදුලි උත්පාදනයට ද එල්ල කරන සෘජු ප්රහාරයකි.
-ගෝලීය දේශපාලන අස්ථාවරත්වය: ඉරාන-ඇමරිකානු (Iran-US) නොසන්සුන්තාවය සහ ගෝලීය යුද වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සැපයුම් ජාල බිඳ වැටී අප වැනි ආනයන මත යැපෙන රටවල් තවත් අමාරුවේ වැටෙමින් තිබෙනවා. මේ නිසා ඉදිරි කන්න වලට පොහොර හිඟයකුත් මතු වෙමින් තියෙනවා.
- දේශපාලන හා ප්‍රතිපත්තිමය වගකීම:
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජයට ගෝලීය වෙළෙඳපොළේ උච්චාවචනයන් හමුවේ ආර්ථිකය ස්ථාවරව තබා ගැනීම විශාල අභියෝගයක් වී තිබෙනවා. මේ වන විටත් විපක්ෂය විසින් රුපියලේ බිඳවැටීම සහ පවතින ආර්ථික පීඩනය පිළිබඳව කඩිනම් පාර්ලිමේන්තු විවාද ඉල්ලා සිටින්නේ තත්ත්වයේ ඇති බරපතළකම නිසයි.
මහාචාර්ය රොහාන් සමරජීව (Prof. Rohan Samarajiva ) මහතා ඇතුළු කණ්ඩායම හඳුන්වා දෙන 'RESET NOW' වැනි ප්‍රතිපත්තිමය මුලපිරීම්වලින් පෙන්වා දෙන පරිදි, අපට දැන් අවශ්‍ය කරන්නේ මැතිවරණ ඉලක්ක කරගත් සාම්ප්‍රදායික 'පොරොන්දු ලේඛන' (Wishlists) නෙවෙයි. දේශපාලන පක්ෂ භේදවලින් තොරව, දැනුම කුසලතා වලින් පරිපූර්ණ අයව එකතු කරගත් පූර්ණ බලැති කාර්ය සාධක බලකායක්, මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඔවුන් ගේන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්.
අර්බුදය එනකන් කාලය ගනින්නේ නැතුව අපි දැන්ම ක්‍රියාත්මක වෙමු . නැතිනම් මීට වසර තුනකට පෙර පැවති අර්බුදය ඊට වඩා දරුණු ලෙස පැමිණිය හැක.

මාධ්‍යවේදි සදුන් අරෝෂ ප්‍රනාන්දු
සමාරම්භක - දුස් තොරතුරු මැඩලිමේ ඒකකය ජනාධිපති කාර්‍යාලය