May 18 (Citizen News) - 21 වන සියවසේ ලෝක දේශපාලනයේ කේන්ද්‍රීයම සබඳතාව බවට පත්වන්නේ ඇමරිකාව සහ චීනය අතර සබඳතාවය බව පැහැදිලි ය. ඒ නිසාම ට්‍රම්ප් සහ ෂී අතර සිදුවූ හමුව හුදෙක් රාජ්‍ය නායක හමුවක් පමණක් නොව, වර්තමාන ලෝක බල ව්‍යුහය පිළිබඳ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස ද කියවිය හැක. විශේෂයෙන් ට්‍රම්ප්ගේ ආගමනයෙන් පසු ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය තුළ ඇතිවුණු වෙනස අප දැක ඇත්තෙමු; ට්‍රම්ප්ගේ 'ඇමරිකාවට පළමු තැන' America First, ජාතිකවාදය, ආර්ථික ආරක්ෂණවාදය, චීනයට එරෙහි වෙළඳ යුද්ධය, සහ ගෝලීයකරණය පිළිබඳ විවේචනය ආදී සියලු ප්‍රතිපත්තිමය ක්‍රියා සහ වාග් අලංකාර ඒ බව පැහැදිලි කරයි.
එක පසෙකින් මෙම හමුව ආර්ථික සබඳතා කළමනාකරණය කිරීමේ උත්සාහයක් ලෙසද ගත හැකි ය; නමුත්, එය ඊට වඩා ගැඹුරු යථාර්ථයක් ද පිළිබිඹු කරයි. ලෝකයේ බලවත්ම රාජ්‍ය දෙක අද එකිනෙකාට තරඟකරුවන් වුවද, එකිනෙකාට අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් ද වෙති. සීතල යුද්ධ සමයේ ඇමෙරිකාව සහ සෝවියට් සංගමය අතර පැවති පූර්ණ දේශපාලනික-ආර්ථික දුරස්ථ භාවය අද චීනය සහ ඇමෙරිකාව අතර නොපවතී. චීනය ඇමෙරිකානු වෙළඳපොළ, තාක්ෂණය සහ මූල්‍ය පද්ධතියට ගැඹුරින් සම්බන්ධ වන අතර ඇමෙරිකාවද චීන නිෂ්පාදන, සැපයුම් දාම සහ ණය පද්ධතිවලට සම්බන්ධ වී ඇත. ඒ නිසාම මේ තරඟය සම්පූර්ණ විනාශකාරී ගැටුමකට වඩා කළමණාකරණය කරගත් තරඟයක් නැතිනම් 'පාලිත තරගයක්' managed competition ලෙස පෙනීයයි.
නායකයන්ගේ කතාබහ තුළ මතුවූ වැදගත්ම දේශපාලනික දාර්ශනික කාරණාවක් වූයේ ෂී ජින්පිං විසින් මතුකළ 'තුසිඩීඩ්ස්ගේ උගුල' (Thucydides Trap) පිළිබඳ අදහසයි. තුසිඩීඩ්ස් විසින් පෙන්වා දුන් පරිදි, එකල ඇතැන්ස් රාජ්‍යයේ නැගීම විසින් ස්පාටාව තුළ ඇති කළ බිය නිසා ඔවුන් අතර යුද්ධය නොවැළැක්විය හැකිබවට පත් විය. නූතන ජාත්‍යන්තර සබඳතාවලට මෙම සිදුවීමෙන් ගත හැකි අන්තර් ඥානය කුමක්ද? මෙහිදී නැගී එන බලවතෙකු (චීනය) සහ පවතින හෙගමනික බලවතෙකු (ඇමරිකාව) අතර ඇතිවිය හැකි ගැටුමක් හරහා බිහිවන ව්‍යුහාත්මක දේශපාලන පද්ධතිය පිළිබඳ එමගින් පැහැදිලි කළ හැක. නමුත් එය එලෙසම අප විසින් අවබෝධ කරගත යුතු ද? සමහරවිට ෂී ජිං පිං මතුකරන ප්‍රශ්නය එයයි.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ බටහිර විචාර බොහෝවිට චීනය 'නැගී එන බලවතා' ලෙසත් ඇමෙරිකාව 'පිරිහෙමින් පවතින හෙගමනික බලවතා' ලෙසත් දක්වයි. නමුත් ෂී ජින්පිංගේ කතාවේ වැදගත්කම වන්නේ ඔහු මෙම සංජානනයටම අභියෝග කිරීමයි. චීනයේ නැගීම යනු ඇමෙරිකාව විතැන්කිරීමේ ව්‍යාපෘතියක් ලෙස නොව, බහුධ්‍රුවීය ලෝකයක සාමකාමී ව්‍යාප්තියක් වශයෙන් හඳුනාගත යුතු දෙයක් ලෙස ඔහු පවසයි. එනම්, චීනයේ වර්ධනය යනු ඇමෙරිකාවේ කඩාවැටීම ලෙස කියවීම වැරදි බව ඔහු පෙන්වා දෙයි. චීනය දිගටම ලෝකයට ප්‍රකාශ කරන්නේ එම රාජ්‍යයේ නැගීම තර්ජනයක් ලෙස අවබෝධ කරගැනිම වැරදි බවයි. ඒ වෙනුවට මානව වර්ගයා සාමූහික අනාගතයක් කරා ගමන් කිරීම shared future for mankind වැනි සංකල්ප හරහා චීනය තම බලය හෙගමනික ආධිපත්‍යයක් ලෙස නොව, විකල්ප ලෝක රටාවක් ලෙස ඉදිරිපත් කිරීමට යොමුවෙයි.
නමුත් මෙහි පවතින මූලික දාර්ශනික ගැටලුව වන්නේ තුසිඩීඩ්ස්ගේ උගුල රාජ්‍ය නායකයන්ගේ තීන්දු මඟින් සැබවින්ම මඟ හැරිය හැකිද යන්නයි. මෙතැනදී ජාත්‍යන්තර සබඳතා න්‍යායේ අපට හමුවන ව්‍යූහය සහ නියෝජිතයා' (structure vs agency) පිළිබඳ විවාදය දෙස නැවත බැලීමට සිදුවෙයි. නව-යථාර්ථවාදී චින්තකයන් විශේෂයෙන් කෙනත් වොල්ට්ස් වැනි අය පෙන්වා දුන්නේ ජාත්‍යන්තර පද්ධතියේ පවතින අරාජිකභාවය anarchy සහ බල තුලනය balance of power විසින් සාදන ව්‍යූහය මගින් රාජ්‍යයන්ගේ හැසිරීම සීමා කෙරෙන බවයි. ඒ අනුව චීනය තමන් සාමකාමී බව පැවසුවද, එහි ආර්ථික, තාක්ෂණික සහ හමුදාමය ව්‍යාප්තිය ඇමෙරිකාවට ව්‍යුහාත්මක තර්ජනයක් ලෙස පෙනීම වැළැක්විය නොහැකි බව සත්‍යයකි.
ඒ අනුව ගැටුම පුද්ගල නායකයන්ගේ කැමැත්තෙන් නතර කළ හැකි දෙයක් නොව, පද්ධතිමය බල අරගලයක් බවට පත්වන බව අප වෙත ඇති එක පැහැදිලි කිරීමකි. චීනය තම නිෂ්පාදන කාර්මික හා ව්‍යාපෘති හා භූදේශපාලනය ක්‍රියා මාර්ග සහ මූල්‍ය පද්ධතිය (යුවාන්) ජාත්‍යන්තරීකරණය හරහා තම බලය ව්‍යාප්ත කරන අතර, ඇමෙරිකාව ද තම උපාය මාර්ගික ව්‍යාපෘති - QUAD, AUKUS, ඉන්දු ශාන්තිකර උපාය, වෙළඳ සම්බාධක සහ තාක්ෂණ වාරණයන් හරහා ප්‍රතිචාර දක්වයි. මෙය පෞද්ගලික අකමැත්තෙන් හෝ කැමැත්තෙන් පමණක් සිදුවන හෝ නතර කළ නොහැකි ව්‍යුහාත්මක තරඟයකි.
එහෙත් ෂී විසින් යෝජනා කරන බව පෙනෙන්නේ රාජ්‍ය නායකයන්ට - නියෝජිතයාට — ව්‍යුහයේ ස්වභාවය අවබෝධකරගෙන ගැටුම කළමනාකරණය කිරීමේ හැකියාවක් තිබෙන බවයි. න්‍යෂ්ටික යුගයේ දී අන්‍යෝන්‍ය විනාශය, ගෝලීය ආර්ථිකයේ පවතින අන්තර්-සම්බන්ධතාවය සහ යුද්ධය සඳහා වන අධික පිරිවැය නිසා බලවතුන්ට සෘජුව යුද්ධ කිරීම යනු අතීතයේ දී පැවති පරිදි දැකිය හැකි තාර්කික විකල්පයක් නොවන බව පැහැදිලිය. එබැවින් අද ලෝකය තුළ පවතින්නේ තුෂ්ණි යුද්ධයක නව ස්වරූපයකි. එනම් වත්මන් චීන සහ ඇමරිකානු තුෂ්ණි යුද්ධය තුළ එම රාජ්‍යයන් අතර පූර්ණ විරසක භාවයක්, දෘෂ්ටිමය තරගයක් වෙනුවට අපට දැකගත හැකිවන්නේ, 'පාලනය කරනු ලබන තරගය' හෝ 'තරගකාරී සහජීවනය' පිළිබඳ තත්ත්වයක් බව පැහැදිලි කළ හැක.
මෙහිදී ෂී ජින්පිංගේ තුසිඩීඩ්ස් උගුල පිළිබඳ ප්‍රකාශය වැදගත් වන්නේ ගැටුම නොවැළැක්විය හැකි යැයි ඔහු විසින් පිළි නොගැනීම නිසාය. නමුත් ගැටලුව වන්නේ ජාත්‍යන්තර දේශපාලනයේ සංජානන perceptions සහ ආරක්ෂාව පිළිබඳ උභතෝකෝටිකය security dilemma බොහෝවිට ද්‍රව්‍යාත්මක බලයට වඩා බලවත් වීමයි. චීනය තමන් ආරක්ෂකමය උපාය ව්‍යාප්ත නොකරන බව පැවසුවද, ඇමෙරිකාවට එය බලය ව්‍යාප්ත කිරීමක් ලෙස පෙනීයයි. එවිට රාජ්‍යයන් අතර වන අවිශ්වාසය ව්‍යුහාත්මකවම ප්‍රතිනිෂ්පාදනය වීම වැළැක්වීම අපහසුය.
මෙම තත්ත්වය තුළ දකුණු ආසියාවට සහ විශේෂයෙන් අපේ රටට ගැඹුරු බලපෑම් ඇතිවිය හැක. ඉන්දියන් සාගරය අද ලෝක දේශපාලනයේ ප්‍රධාන භූ-ආර්ථික කලාපයක් බවට පත්ව තිබේ. මැද පෙරදිග බලශක්ති මාර්ග, ආසියානු නිෂ්පාදන ජාල සහ අප්‍රිකානු වෙළඳ මාර්ග සම්බන්ධ කරන මෙම කලාපය තුළ චීනයේ ව්‍යාප්තිය, ඉන්දියාවට සහ ඇමෙරිකාව යන දෙකටම ආරක්ෂක අභියෝගයක් ලෙස පෙනේ.ශ්‍රී ලංකාවට මෙය අවස්ථාවක් මෙන්ම අවදානමක්ද වේ. චීන ආයෝජන, වරාය සංවර්ධන සහ යටිතල පහසුකම් ව්‍යාපෘති ආර්ථික අවශ්‍යතා සපුරාලුවද, ඒවා පසුබිමේ වන භූ-දේශපාලනික බලපෑම් පවතී. අනෙක් අතට ඇමෙරිකාව සහ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව චීන බල ව්‍යාප්තියේ සම්පූර්ණ කොටසක් වීම වැළැක්වීමට උත්සාහ කරනු ඇත. මේ නිසා ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සරල නොබැඳි ප්‍රතිපත්තියකට වඩා බහු-සම්බන්ධතා සහිත විදේශ ප්‍රතිපත්තියකි. එනම් චීනය සමඟ ආර්ථික සහයෝගීතාවයක් පවත්වාගෙන යන අතර ඉන්දියාව සමඟ ආරක්ෂක සහ භූගෝලීය සංවේදීතාවයන් පිළිබඳ සලකා බැලීමත්, ඇමෙරිකාව සහ බටහිර රටවල් සමඟ වෙළඳ හා තාක්ෂණික සබඳතා රඳවා ගැනීමත් ඒ හරහා යෝජනා කළ හැක.
චීනය සහ ඇමෙරිකාව අතර පවතින තරඟය සම්පූර්ණයෙන්ම යුද්ධයක් ලෙස නොව, ව්‍යුහය සහ නියෝජිතයා අතර පවතින ආතතිය ලෙස න්‍යායිකව දැක්විය හැක. ව්‍යුහයේ තෙරපුම විසින් ගැටුමට තල්ලු කරන අතර නියෝජිතයන් එය කළමනාකරණය කිරීමට උත්සාහ කරයි. නමුත් එම කළමනාකරණය සාර්ථක වන්නේ නායකයන්ට තම දේශීය පරිසරය තුළ පවතින ජාතිකවාදී පීඩන, ආරක්ෂාව පිළිබඳ මතයන් සහ බල තරඟ ඉක්මවා තාර්කිකව ක්‍රියා කළ හැකි ප්‍රමාණය මතය.
එබැවින් ට්‍රම්ප්-ෂී හමුව ලෝකය දෙකඩ කරන අවසාන ගැටුමක ආරම්භයක් ලෙස පමණක් නොව, බලවතුන් දෙදෙනාම එකිනෙකාගේ පැවැත්ම පිළිගෙන බල තරඟය කළමනාකරණය කිරීමට උත්සාහ කරන නව ලෝක යථාර්ථයක ප්‍රකාශනයක් ලෙස කියවිය හැකි ය. කුඩා රාජ්‍යයන්ට එම යථාර්ථය තුළ ඇතිවන අභියෝගය වන්නේ එක් බල කඳවුරක අනුගාමිකයන් වීම වෙනුවට, තම භූ-දේශපාලනික ස්ථානය තාර්කිකව භාවිතා කර ස්වාධීන අවකාශයක් නිර්මාණය කර ගැනීම විය හැක.

ආචාර්ය අතුලසිරි සමරකෝන් Digital creator Lecturer at Open University of Sri Lanka Former Teaching Assistant at University of Colombo