May 15 (Citizen News) - මෙරට සාර්ව දේශපාලන ලෑන්ඩ්ස් කේපයේ ගතික සීග්‍රතාවය කියවිය යුත්තේ සරල ආණ්ඩු-විපක්ෂ ගැටුමක් ලෙස පමණක් නොවේ. එය රාජ්‍යය, බලය, ප්‍රතිවිරෝධය සහ ප්‍රතිසංධාන අතර පවතින සංකීර්ණ සම්බන්ධතාවයක් ලෙසද හඳුනාගත හැකිය. ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණියේ දූෂණයට, පවුල්වාදයට සහ අධානග්‍රාහී පක්ෂ අනුගාමිකත්වයට (cronyism) එරෙහි විශාල සමාජ අපේක්ෂාවක් සමඟය. 2022 ආර්ථික අර්බූදයෙන් පසු ඇති වූ සමාජ කම්පනය, අරගලය, IMF ප්‍රතිසංස්කරණ සහ පැරණි දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාව තුළ ඇති වූ විශ්වාසභංගය මත මෙම නව ආණ්ඩුකරණ ව්‍යාපෘතිය ගොඩනැගුණි. ඒ නිසාම වත්මන් ආණ්ඩුවට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන අභියෝගය වන්නේ ඔවුන් විසින් ම දායකවී නිර්මාණය කළ විරෝධාත්මක දේශපාලන භාෂාවක් රාජ්‍ය පරිපාලන හැකියාවක් බවට පරිවර්තනය කිරීමයි. ආණ්ඩුව ඒ සඳහා අනුගමනය කරන උපාය කුමක්ද?
මෙහිදී ආණ්ඩුකරණය පිළිබඳ දේශපාලනය යනු “ආර්ට් ඔෆ් ද පොසිබල්” පමණක් නොව, බොහෝ විට “ආර්ට් ඔෆ් ද ඉම්පොසිබල්” ද වේ. මන්ද, විපක්ෂයේ සිටියදී ඉදිරිපත් කළ රැඩිකල් සටන් පාඨ රාජ්‍ය බලය හිමිවූ පසු සෘජුව ක්‍රියාත්මක කිරීම සෑමවිටම කළ නොහැක. එවිට ආණ්ඩුවකට සිදුවන්නේ පවතින ආයතන, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය, පරිපාලන සීමාවන් සහ සමාජ බලවේග අතර සීරුවට ගමන් කිරීමටය. ඒ අනුව විරෝධතාවයේ දෘඪභාවය පාලනය පිළිබඳ යථාර්ථයේ නම්‍යශීලීත්වයකට flexibility in governance පරිවර්තනය වීම නූතන ආණ්ඩුකරණයේ අත්‍යවශ්‍ය ලක්ෂණයක් බවට පත්වේ.
ඒ නිසා ඉරාන් වික්‍රමරත්න වැනි විපක්ෂයේ සිටි පුද්ගලයන් යම් යම් ආයතනික ක්ෂේත්‍ර වලට සම්බන්ධ කිරීම සරල පත්කිරීමක් නොව, 'රාජ්‍යය' සහ 'පක්ෂය' අතර සීමාව නැවත අර්ථකථනය කිරීමේ උත්සාහයක් ලෙස පෙනේ. විශේෂයෙන් ක්‍රිකට් පරිපාලනය, ආර්ථික කළමනාකරණය හෝ ප්‍රතිපත්ති සම්බන්ධ ආයතන වැනි ක්ෂේත්‍ර වලදී 'දක්ෂතාවය' සහ 'ජාත්‍යන්තර විශ්වාසනීයභාවය' වැනි යෙදුම් දැඩිව භාවිතා වේ. ජාතික ජන බලවේග නායකයන් කිහිප දෙනෙකුම පසුගිය. දිනවලදී මාධ්‍ය වලට ප්‍රකාශ කර තිබුණේ 'රට ගොඩනැගීම සඳහා ඕනෑම දක්ෂයෙකු සමඟ වැඩ කිරීමට සූදානම්' බවයි. ඒ සමඟම IMF වැඩසටහන, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර ආයෝජන විශ්වාසය තහවුරු කිරීම වැනි කරුණු හේතුවෙන් ආණ්ඩුවට දේශපාලන විශ්වාසයට පමණක් සීමා වූ පිරිසක් නොව, තාක්ෂණික සහ ආයතනික හැකියාවක් සහිත පුද්ගලයන් අවශ්‍ය වී ඇත. හර්ෂ ද සිල්වා ඇතුළු සජබ නායකයන්ට උදාවන ජාතික කාර්යභාරයට සම්මාදම් වීමේ අවස්ථාවට මෙලෙස පසුබිම සැකසෙමින් තිබේ.
නමුත් මෙය සදාචාරාත්මකව 'සුදුස්සාට සුදුසු තැන' යන සංකල්පයෙන් පමණක් පැහැදිලි කළ නොහැක. ඕනෑම ආණ්ඩුවක් තම බලය දිගුකාලීනව ස්ථාපිත කර ගැනීමට උත්සාහ කරයි. එහිදී විපක්ෂයේ සිටින බුද්ධිමය සහ ප්‍රතිපත්තිමය හැකියාවන් සහිත පිරිස් ආණ්ඩුකරණ ව්‍යුහය තුළට ඇද ගැනීම ඉතා වැදගත් වේ. මන්ද, නූතන බලය ක්‍රියාකරන්නේ සෘජු මර්දනය හරහා පමණක් නොව, විරෝධය අවශෝෂණය absorption of resistance කරගනිමින් එහි ගතිකතාවය නම්‍යකරණයකට ලක්කරමින්ය. විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුවට සම්බන්ධ වන විට, ඔවුන් ආණ්ඩු විරෝධයේ භාෂා උගුලෙන් ගැළවී 'වගකීම් සහගත රාජ්‍යකරණය' නැමැති මිත්‍යාමය භාෂා අවකාශයට බලයත් සමග ඇතුළත් වේ. එවිට විරෝධය සම්පූර්ණයෙන් විනාශ නොවුවද, එය පාලනය කළ හැකි සහ කළමනාකරණය කළ හැකි ස්වරූපයකට පරිවර්තනය වේ.
සජබය තුළ හර්ෂ ද සිල්වා වටා ඇති ආතතිය මේ පසුබිම තුළ වැදගත්ය. හර්ෂ ද සිල්වා IMF, ආර්ථික ප්‍රතිසංස්කරණ, ඩිජිටල් ආර්ථිකය සහ ජාත්‍යන්තර වෙළඳපොළ පිළිබඳ අදහස් දැක්වූ ආකාරය බොහෝ විට ආණ්ඩුවේ ආර්ථික ප්‍රවේශයන් සමඟ යම් සමානතාවයක් දරයි යන අදහස සමාජ මාධ්‍ය සහ දේශපාලන කතිකාව තුළ දිගින් දිගටම මතු වී ඇත. ඒ නිසාම සජබය තුළ බොහෝවිට මතු වන්නේ එය 'විපක්ෂයක් ද, නැතිනම් ආණ්ඩුවේ විකල්ප පරිපාලන කණ්ඩායමක් ද?' යන සැඟවුණු ප්‍රශ්නයයි.
මින් පෙර සිටි සජින් ද වාස් ගුණවර්ධන වැනි බල දේශපාලන චරිත සමඟ සසඳන විට හර්ෂගේ වෙනස තවත් පැහැදිලි වේ. රාජපක්ෂ දේශපාලනය තුළ බලයට සමීප වීමේ ප්‍රධාන භාෂාව වූයේ පෞද්ගලික අනුගාමිකත්වයයි. නමුත් අද බලය ඊට වඩාත් සංකීර්ණය. එය 'ප්‍රතිපත්තිමය දැනුම', 'තාක්ෂණික හැකියාව', 'ආයෝජක ජාත්‍යන්තර විශ්වාසය', 'ජාත්‍යන්තර සම්බන්ධතා' සහ 'වෘත්තීයභාවය' යන භාෂාමය සංඥා හරහා ක්‍රියාකරයි. ඒ නිසා බුද්ධිමය දාර්ශනිකත්වය පරදා තාක්ෂණඥයා technocrat නැමැති චරිතය නූතන දේශපාලනයේ නව බල මධ්‍යස්ථානයක් බවට පත්වී ඇත. සජබය සහ අනෙකුත් කණ්ඩායම්වල සිටින එවැනි ටෙක්නොක්‍රැටික පාර්ශ්වයන්ට විපක්ෂයේ බෙලිකපාගැනීම නැමැති දේශපාලන සීතල වතුරේ ගිළෙනවාට වඩා ආණ්ඩුවේ රට හැදීම පිළිබඳ නව ජාතික කතිකාවකට පිවිසීම ආවස්ථිකව යහපත් වන්නේ මෙම තත්වය තුළය.
නමුත් මෙහි ඇති ගැඹුරුම ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විවේචනාත්මක අවකාශයට කුමක් සිදුවේද යන්නයි. විපක්ෂයේ දක්ෂයන්, බුද්ධිමතුන් සහ ප්‍රතිපත්තිමය හැකියාවන් සහිත පිරිස් ක්‍රමයෙන් ආණ්ඩුකරණ ව්‍යුහය තුළට ඇතුළත් වන විට, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිවිරෝධය පවා පද්ධතිය තුළ කළමනාකරණය කළ හැකි දෙයක් බවට පත්වේ.
මෙහිදී ජිජැක් වැනි දාර්ශනිකයකු පෙන්වා දෙන නූතන බලයේ ස්වභාවය හඳුනා ගැනීම වැදගත්ය. ඔහු පෙන්වා දෙන්නේ නූතන රාජ්‍ය බලය විසින් පද්ධති විරෝධය විනාශ නොකරන බවයි; ඒ වෙනුවට එය අන්තර්ග්‍රහණය නැත්නම් අභ්‍යන්තරකරණය නැතිනම් ඇතුළත් කරගනිමින්, එහි ශක්තිය මෘදුකරමින්, පාලනය කළ හැකි ස්වරූපයකට පරිවර්තනය කරන බව ඔහු පෙන්වා දෙයි. එවිට විරෝධය පද්ධතියට පිටතින් පවතින තර්ජනයක් නොව, පද්ධතියේම කොටසක් බවට පත්වේ. අද ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ද මෙම ප්‍රවණතාවය දැකිය හැකිය. විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුකරණයට එක්වීම, එක් අතකින් රාජ්‍ය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කළ හැකි අතර, අනෙක් අතට විපක්ෂයේ විවේචනාත්මක ශක්තිය පද්ධතිය තුළටම අවශෝෂණය කර ගැනීමේ මෘදු දේශපාලන ක්‍රියාවලියක් ද විය හැකිය.
ඒ නිසා වත්මන් තත්ත්වය “ජාතික කාර්යභාරය සඳහා එකතූවීම' නැතිනම් 'දේශපාලන ද්‍රෝහීභාවය' ලෙස සරල බයිනරියක් තුළ ඝනීභවනය කළ නොහැක. එය නූතන රාජ්‍යය තම බලය සංවිධානය කරන ආකාරය පිළිබඳ ගැඹුරු දේශපාලන මොහොතකි. අද බලය විරෝධය මර්දනය කිරීමෙන් පමණක් නොව, එය අවශෝෂණය කරගනිමින් ද පවත්වාගෙන යාම එහි ස්වභාවයයි. එබැවින් ප්‍රශ්නය වන්නේ දක්ෂයන් ආණ්ඩුවට ගන්නවාද නැද්ද යන්න නොව, එම ක්‍රියාවලිය අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ විවේචනාත්මක ජීවගුණය ශක්තිමත් කරනවාද, නැතිනම් එය පාලනය කළ හැකි මෘදු විරෝධයක් බවට පත්කරනවාද යන්නයි.

ආචාර්ය අතුලසිරි සමරකෝන්
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching Assistant at University of Colombo
[email protected]