මතවාද · · 1 min read

රාජපක්සවාදය අවසන් ද?

ආචාර්ය අතුලසිරි සමරකෝන්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද්දකී.

රාජපක්සවාදය අවසන් ද?

May 13 (Citizen News) - මහින්ද රාජපක්ස යනු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ තනි පුද්ගලයෙකුට වඩා, නිශ්චිත ඓතිහාසික මොහොතක නිර්මාණය වූ බලය පිළිබඳ සංකේතයකි. ඔහු 'මහින්ද රාජපක්ස' බවට පත්වන්නේ පවුල් උරුමයකින් පමණක් නොව, ජනවාර්ගික යුද්ධය, රාජ්‍ය අර්බූදය, ජාතික ආරක්ෂාව පිළිබඳ භීතිය, ග්‍රාමීය සිංහල බෞද්ධ ජන මනස තුළ මුල් බැසීම සහ බලය සඳහා පක්ෂ අතර වූ දැඩි දේශපාලන අරගලය යන සියලු සාධක එකිනෙක ගැටුණු අවස්ථාවකය.

එම නිසා ඔහුගේ නැගී සිටීම හෝ කඩාවැටීම, පුද්ගල චරිතයකට පමණක් සීමා කළ නොහැකි අතර, එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ගැඹුරු දේශපාලන යථාර්තයක් කැටිකොටගත් ඉතිහාසමය පරිච්ඡේදය කි.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ස ජයග්‍රහණය කළේ, සාම ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ ඇතිවෙමින් තිබූ සැකය සහ උතුරේ යුද්ධය නැවතත් තීව්‍ර වෙමින් තිබූ පසුබිමකය. එම කාලයේ දකුණේ සිංහල ජනතාව අතර ශක්තිමත් රාජ්‍යයක්, දැඩි නායකත්වයක් සහ යුද්ධය අවසන් කළ හැකි පාලකයෙකු පිළිබඳ අවශ්‍යතාවයක් ගොඩනැගී තිබිණි.

රනිල් වික්‍රමසිංහ නියෝජනය කළ සාකච්ඡා සහ සංහිඳියාමය දේශපාලනයට වඩා, මහින්ද රාජපක්ස නියෝජනය කළ ආරක්ෂක-ජාතිකවාදී ප්‍රතිරූපය ග්‍රාමීය සහ අර්ධ නාගරික සිංහල සමාජය තුළ බලවත් ආකර්ෂණයක් ලබා ගත්තේ එම නිසාය. ජවිපෙ, ජාතිකවාදී බලවේග සහ යුද්ධයෙන් හෙම්බත් වූ දකුණේ පොදුජන මනස ඔහු වටා එකතු විය. එමෙන්ම එල්ටීටිය මැදිහත් වූ උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද වර්ජනයද ඔහුගේ ජයග්‍රහණයට තීරණාත්මක විය.

නමුත් මහින්ද රාජපක්සගේ සැබෑ දේශපාලන බලයේ උච්චම ස්ථානය ආරම්භ වන්නේ 2009 යුද්ධ ජයග්‍රහණයෙන් පසුවය. වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනයත් සමග, ඔහු සාමාන්‍ය දේශපාලන නායකයෙකුගේ සීමාව ඉක්මවා 'රට බේරාගත් නායකයා' ලෙස සංකේතමය බලයක් ලබා ගත්තේය. 'රට, ජාතිය, ආගම' යන කතිකාව ඔහු වටා ගොඩනැගුණු අතර, යුද්ධය ජයගත් රාජ්‍ය නායකයා ලෙස ඔහුට විරුද්ධව අදහස් දැක්වීම පවා බොහෝවිට ජාතිද්‍රෝහී ක්‍රියාවක් ලෙස නිරූපණය කෙරිණි. යුද්ධ ජයග්‍රහණය ඔහුට ජනතා එකඟතාවය, හමුදා බලය සහ රාජ්‍ය යාන්ත්‍රණය එකවර පාලනය කළ හැකි විශාල හෙගමනික (සමස්ථාධිපත්‍යමය) ශක්තියක් ලබා දුන්නේය.

එහෙත් යුද්ධයෙන් පසු ක්‍රමයෙන් වෙනස් වන්නේ රාජපක්ස පාලනයේ ප්‍රමුඛතා ලයිස්තුව යි. 'රට ජාතිය සමය' යන දේශපාලන සටන් පාඨයට අමතරව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති මූලික විය. චීනය සමග සම්බන්ධතා ශක්තිමත් කරමින් හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය Port City, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළ සහ සම්මන්ත්‍රණ ශාලා වැනි දැවැන්ත ව්‍යාපෘති ආරම්භ විය. යුද්ධයෙන් විනාශ වූ රටක භෞතික සංවර්ධනය ජනතාවට පෙනෙන ආකාරයේ ප්‍රගතියක් ලෙස දිස්වූ අතර, රාජපක්ස පාලනයේ දේශපාලන සුජාතභාවය ශක්තිමත් කිරීමට එය භාවිත කළේය.

එහෙත් මෙහිම අභ්‍යන්තරයෙන් පාලනයේ බිඳවැටීමේ බීජ ද වර්ධනය විය. ජාතිකවාදය සහ රාජ්‍ය ආරක්ෂාව මත ගොඩනැගුණු බලය, ක්‍රමයෙන් පවුල්වාදය සහ පෞද්ගලික බල සංකේන්ද්‍රණය වෙත ගමන් කළේය. රාජ්‍ය ආයතන, ආර්ථික බලය සහ පක්ෂ යාන්ත්‍රණය රාජපක්ස පවුල වටා සංකේන්ද්‍රණය වන බවට වූ චෝදනා ශක්තිමත් විය. ලිබරල් දේශපාලනඥ මංගල සමරවීර විසින් ප්‍රසිද්ධ කළ “රාජපක්ස පවුල් ගස” එම දේශපාලන සංඥාව සංකේතමය ලෙස රටට ඉදිරිපත් කළේය. ජාතිකවාදය වෙනුවට පවුල් බලය ඉස්මතු වන බවට වූ විවේචනය එතැනින් තවදුරටත් පුළුල් විය. මාධ්‍යවේදීන්ගේ ඝාතන, විවේචකයන් මර්දනය කිරීම සහ දූෂණ චෝදනා හරහා රාජපක්ස හෙගමනික බලය ක්‍රමයෙන් භීතිය සහ බලහත්කාරය මත පදනම් වූ දූෂිත තන්ත්‍රයක් ලෙස ප්‍රාදූර්භූත වීමට manifest පටන් ගත්තේය.

මෙම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන පරස්පරය මතුවිය. යුද්ධය ජයගත් සහ සංවර්ධනය ගෙන ආ නායකයා, එම බලය පෞද්ගලික සහ පවුල් බල ව්‍යුහයක් බවට පරිවර්තනය කළ විට, රාජ්‍යය සහ පාලක පවුල අතර සීමාව ක්‍රමයෙන් මැකී ගියේය. ජනතාව මුලින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එකතු වූවත්, පසුව ජීවන වියදම, ණය බර, දූෂණය සහ අසමානතාවය පිළිබඳ කෝපය ඉස්මතු විය.

2022 ආර්ථික අර්බූදයත් සමග එම කෝපය විශාල දේශපාලන කැරැල්ලක් බවට පත්විය. ජන අරගලය 2022 තුළින් ජනතාව ප්‍රශ්න කළේ යුද්ධ ජයග්‍රහණය නොව, රට බංකොළොත් වූයේ කෙසේද යන්නයි. දේශපාලන ප්‍රභූ පන්තියට එරෙහිව විශාල ප්‍රතික්ෂේපයක් ගොඩනැගුණු අතර, NPPය බලයට පැමිණියේ එම ප්‍රභූ විරෝධී කතිකාව මතය. 'දූෂිත දේශපාලනය' සහ 'රට විනාශ කළ ප්‍රභූවරු' යන අදහස ජනතා බලවේගයක් බවට පත්විය.

අද මහින්ද රාජපක්ස වයෝවෘධ දේශපාලන නායකයෙකු ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා යටතේ ප්‍රශ්න කිරීම්වලට මුහුණ දීම, ශ්‍රී ලංකාවේ බල රටාව වෙනස් වීමේ සංකේතයකි. යුද්ධය ජයගත් නායකයා නීතිය ඉදිරියට කැඳවිය හැකි බව පෙන්වීම, මෙරට දේශපාලනයේ ඇතිවූ විශාල මනෝවිද්‍යාත්මක හැරවුමකි. නමුත් මෙහි ඇති ගැඹුරු ගැටළුව වන්නේ, එය නීතියේ පාලනයේ ජයග්‍රහණයක් ද, නැතිනම් නව බලවේගයක දේශපාලන යුද්ධයක් ද යන්න පිළිබඳ කතිකාව විපක්ෂය විසින් මතුකිරීමයි. ඕනෑම ආණ්ඩුවක් නීතිය භාවිත කරන්නේ බලය තහවුරු කිරීම සඳහාය. එම නිසා දූෂණයට එරෙහි අවංක ක්‍රියාමාර්ග පවා දේශපාලන බල සටනක කොටසක් බවට පත්විය හැක.

එහෙත් තවත් පැත්තකින් බලන විට, දේශපාලන බලය හිමි වූවන් කිසිදා නීතියට ඉහළින් නොසිටිය යුතුය යන අදහසද මෙහිදී ඉතා වැදගත්ය. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් 195/2022 මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව මගින් රට බංකොළොත් වීමට වගකිව යුතු දේශපාලන නායකයන් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු දක්වීම, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවරුන්ට එරෙහි ඇතිවූ නව නීතිමය සහ දේශපාලන සීමාවක් සළකුණු කළේය. නමුත් ජාජබය එම තීන්දුව ගැන තවම අවධානය යොමු කර නැත.

කෙසේ වෙතත්, රාජපක්ස බලය බිඳවැටුණද රාජපක්සවාදය අවසන් වී ඇතැයි තවමත් කිව නොහැක. ජාතිකවාදය, ආගමික සංවේදීතාව, ආරක්ෂක දේශපාලනය සහ පවුල් ජාල තවමත් ශ්‍රී ලංකාවේ බලවත් දේශපාලන ව්‍යූහයන් නිර්මාණය කරයි. පැරණි ප්‍රභූ පන්තියේ දරුවන් නැවත බලයට පැමිණීමට උත්සාහ කරන්නේද එම නිසාය. නව ආණ්ඩුවේ අභියෝගය වන්නේ පැරණි ප්‍රභූ තන්ත්‍රය විවේචනය කරන අතරම, තමන්ම නව ප්‍රභූ තන්ත්‍රයක් බවට පත්වීමෙන් වැළකීම බවද සිහිපත් කළ යුතුය.

කෙසේ නමුත් මහින්ද රාජපක්සගේ නැග්ම සහ බැස්ම පිළිබඳ කතාව යනු එක් පුද්ගලයෙකුගේ නැගී සිටීම හෝ පරාජය පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය යුද්ධයෙන් පීඩිත රාජ්‍යයක් තුළ ජාතික ආරක්ෂාව, ජනතාවගේඑ මරණ බය, සංවර්ධනය, දූෂණය, ප්‍රභූ බලය සහ නීතිය අතර ආදී කතිකාවන් සමග ඇතිවූ අඛණ්ඩ අරගලයේ ඉතිහාසය කි. ශ්‍රී ලංකාව අදත් එම අරගලයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වී නැත.

ආචාර්ය අතුලසිරි සමරකෝන් Digital creator Lecturer at Open University of Sri Lanka Former Teaching Assistant at University of Colombo [email protected]