දේශපාලන ·

"වාහන 4000කට LC විවෘත කළා කියන කතාව අමූලික බොරුවක්: ඇත්ත ගණන 1782යි" - නියෝජ්‍ය අමාත්‍ය අචාර්‍ය අනිල් ජයන්ත විපක්ෂයේ චෝදනා ප්‍රතික්ෂේප කරයි

"වාහන 4000කට LC විවෘත කළා කියන කතාව අමූලික බොරුවක්: ඇත්ත ගණන 1782යි" - නියෝජ්‍ය අමාත්‍ය අචාර්‍ය අනිල් ජයන්ත විපක්ෂයේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අචාර්‍ය අනිල් ජයන්ත ස්වාධීන රූපවාහිනී සේවයේ 'On Air Politics' දේශපාලන සංවාද වැඩසටහන අතරතුර අදහස් දක්වමින් (ජායාරූපය: ITN YouTube නාලිකාව)

May 20 (Citizen News) - වාහන ආනයන රේගු බද්දට අධිභාරයක් (Surcharge) පැනවීමට පෙර දින, එනම් මැයි 15 වනදා වාහන 4000ක් සඳහා ණයවර ලිපි (LC) විවෘත කර ඇති බවට විපක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අචාර්‍ය අනිල් ජයන්ත අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මැයි 15 දින ණයවර ලිපි විවෘත කර ඇත්තේ වාහන 1782ක් සඳහා පමණක් වන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 23.71ක් වන බවයි.

ස්වාධීන රූපවාහිනී සේවයේ 'On Air Politics' දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් දැඩි ලෙස විවේචනයට ලක් කරමින් අචාර්‍ය අනිල් ජයන්ත සඳහන් කළේ, මන්ත්‍රීවරයා විසින් දත්ත විකෘති කරමින් මහජනතාව නොමඟ යැවීමට පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

එදින සිදුවූ ණයවර ලිපි විවෘත කිරීම් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙවැනි තීරණයක් ගැනීමට පෙර ලිපි විවෘත කිරීමේ අගය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් බව ප්‍රකාශ කළේය.

"ඩොලර් ඉල්ලුම වැඩිවෙද්දී රජය මුලින්ම සීමා පනවන්නේ වාහන ආනයනයට බව මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනෑම කෙනෙක් දන්නවා. ඒ නිසා ව්‍යාපාරිකයන් ඉක්මනින් ණයවර ලිපි විවෘත කරගන්න උත්සාහ කරනවා. මැයි මාසයේ විතරක් නෙවෙයි, පසුගිය මාර්තු මාසයේ එක දිනයකදී විතරක් ඩොලර් මිලියන 47ක ලිපි විවෘත කරලා තිබුණා."

එමෙන්ම මැයි 15 වනදා සිකුරාදා දිනයක් බැවින් ඉදිරි සති අන්ත දින දෙකද සැලකිල්ලට ගනිමින් එම ගනුදෙනු සිදුව ඇති බවත්, අධිභාරය පැනවූ පසුව පවා (මැයි 18 වනදා) ඩොලර් මිලියන 17ක ණයවර ලිපි විවෘත කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම දත්තයන්ට අධිභාරය වලංගු නොවන වාහනද ඇතුළත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

චාමර සම්පත් මන්ත්‍රීවරයා සිදුකළ මෙම අසත්‍ය ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගත නොහැක්කේ මන්දැයි නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සභාගර්භය තුළ හිමිවන 'පාර්ලිමේන්තු වරප්‍රසාද' හේතුවෙන් ඊට බාධාවක් පවතින බවයි.

කෙසේ වෙතත්, විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් මෙලෙස අසත්‍ය ප්‍රකාශ නොකරන බවත්, ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ලැබී ඇති වරප්‍රසාද භාවිතා කරන්නේ කුමන අරමුණකින්ද යන්න පසුගිය කාල වකවානුව දෙස බැලීමේදී ජනතාවට පැහැදිලි වන බවත් පැවසූ අචාර්‍ය අනිල් ජයන්ත, මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීමේ අයිතිය මහජනතාව සතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම වැඩසටහන නැරඹීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න

https://youtu.be/LnrJx--ns1E