මතවාද · · 1 min read

ආහාර සුරක්ෂිතතාවේ අවදානම අවම කිරීම

මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් ලියන ලද්දකි.

ආහාර සුරක්ෂිතතාවේ අවදානම අවම කිරීම


[2020 වසරේ කොවිඩ්-19 (COVID-19) අගුලු දැමීම් මධ්‍යයේ ලියන ලද මෙම ලිපියට මා සිදු කළේ සුළු වෙනස්කම් කිහිපයක් පමණි.]


May 21 (Citizen News) - දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ආහාර සැපයුම් ජාල (Food supply chains) දැඩි පීඩනයකට ලක්ව හෝ බිඳ වැටී ඇත. මෙවැනි තත්ත්ව යටතේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සිතීම ඉබේම සිදු වන මෙන්ම අත්‍යවශ්‍ය කරුණකි. බටහිර ආසියාවේ ට්‍රම්ප්-නෙතන්යාහු නිර්මිත අර්බුදයට විවිධ රටවල් දක්වන ප්‍රතිචාර හමුවේ ආහාර සැපයුම් ජාල දෙස යථාර්ථවාදීව බලන විට ද වර්තමානයේ මෙය අදාළ වේ. එහෙත්, බුද්ධිමත්ව සහ සාක්ෂි මත පදනම්ව ඒ පිළිබඳව සිතීම වැදගත්ය.


සියලුම ශ්‍රේණිගත කිරීම් සහ දර්ශකවල පදනම් වන දත්ත හෝ ඒවායේ සැලසුම් සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු පවතී. එහෙත්, සාක්ෂි මත පදනම් වූ සාකච්ඡාවක් සඳහා ඒවා ප්‍රයෝජනවත් ආරම්භක ලක්ෂ්‍යයක් සපයයි. ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය ප්‍රධාන සංරචක තුනකින් සමන්විත වේ. එනම්, මිල දී ගැනීමේ පහසුව, ලබා ගැනීමේ හැකියාව මෙන්ම ගුණාත්මකභාවය සහ ආරක්ෂාවයි. ස්වාභාවික සම්පත් සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ නව සංරචකයක් 2019 වසරේදී එයට එකතු කරන ලදි. මීට වඩා මෑතකාලීන සංස්කරණ පැවතිය ද, සාමාන්‍ය තර්කය 2019 දත්ත මඟින් මනාව සනාථ වේ. කෙසේ වෙතත්, 2026 වසරෙන් පසු නිකුත් වන දර්ශකය වඩාත් සිත්ගන්නාසුලු වනු නිසැකය.


මිලියන 5කට අධික ජනගහනයක් වෙසෙන නගර රාජ්‍යයක් වන සිංගප්පූරුවට ගොවිබිම් සඳහා ප්‍රවේශයක් නොමැත. ඒ හේතුවෙන් දේශීයව වගා කරන නිෂ්පාදන සඳහා ද එයට ප්‍රවේශයක් නොමැත. එසේ වුවද, මූලික දර්ශකයේ පළමුවැනි ස්ථානය සිංගප්පූරුවට හිමි වීම හරහා මෙම දර්ශකය සාමාන්‍ය අවබෝධයෙන් ඔබ්බට ගිය ආහාර සුරක්ෂිතතා ප්‍රවේශයක් මත පදනම් වී ඇති බවට සංඥා කරයි. ස්වාභාවික සම්පත් සහ ඔරොත්තු දීමේ හැකියාව සැලකිල්ලට ගැනීමේදී සිංගප්පූරුව ස්ථාන 11කින් පහත වැටේ. මුහුදු මට්ටම ඉහළ යාම, සාගර දූෂණය හේතුවෙන් ඇල්ගී බෝ වී, එම කලාපවලින් සමුද්‍ර ජීවීන් වඳ වී යාම (Ocean eutrophication) සහ ආහාර ආනයන මත යැපීම යන කරුණු හමුවේ එරට අවදානමට ලක්ව ඇත. එහෙත්, 11 වැනි ස්ථානයේ සිටිය ද, සිංගප්පූරුව සියලුම දකුණු ආසියානු රටවලට වඩා ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරයි.


මම වසර විසිපහකට වැඩි කාලයක් තිස්සේ තීරණාත්මක යටිතල පහසුකම් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිමි. ආපදා අවම කිරීම සහ සහන මෙහෙයුම් සඳහා විදුලි සංදේශ සම්පත් සැපයීම පිළිබඳ ටැම්පරේ සම්මුතියට (Tampere Convention) ශ්‍රී ලංකාව එළඹීම සහ වයි2කේ (Y2K) ගැටලුව සඳහා සූදානම් වීම ඊට ආසන්නතම හේතු විය. තවද, අපි දශකයකට වැඩි කාලයක් තිස්සේ කෘෂිකාර්මික සැපයුම් ජාල පිළිබඳව ද අධ්‍යයනය කරමින් සිටින්නෙමු.


ඔරොත්තු දීමේ හැකියාව සහ පිරිවැය අතර තුලනය


ඔරොත්තු දීමේ හැකියාව සහ පිරිවැය අතර සෑම විටම තුලනයක් පවතී. පිරිවැය පිළිබඳව සැලකිලිමත් නොවන්නේ නම්, 100%ක අතිරික්ත පහසුකම් තවදුරටත් උපස්ථ (Back-up) කරමින් අසාමාන්‍ය ඔරොත්තු දීමේ හැකියාවක් පවත්වා ගත හැකිය. ඇතැම් විට අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින විට සහ පරිසරය දැඩි අවදානම් සහගත වන විට, කෙනෙකුට බහුවිධ උපස්ථ පවත්වා ගත හැකිය. නිදසුනක් ලෙස, එල්.ටී.ටී.ඊ. සංවිධානය (LTTE) කොළඹට පහර දුන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් නිතර නිතර වැඩ වර්ජන කළ යුද්ධයේ දරුණුතම සමයේදී, ජංගම දුරකථන මූලික මධ්‍යස්ථාන සඳහා වූ බැටරි උපස්ථ පිළිබඳව මට දැනගන්නට ලැබුණි. ඒවා තවදුරටත් ඩීසල් ජනක යන්ත්‍ර මඟින් ද උපස්ථ කර තිබුණි. එහෙත්, මේ සියල්ල සඳහා මුදල් වැය වේ.


ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද තත්ත්වය මෙයම වේ. දේශීයව නිෂ්පාදිත අර්තාපල් මත යැපීම මඟින් අවදානම් අඩු වන බව කෙනෙකු විශ්වාස කළ හැකිය. එහෙත්, ආනයනික අර්තාපල්වලට වඩා දේශීය අර්තාපල් නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ බව හොඳින් දන්නා කරුණකි. ආනයනික අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීමෙන් දේශීය නිෂ්පාදකයෝ රැකෙති. මෙයින් අදහස් වන්නේ දේශීය පාරිභෝගිකයන් අකාර්යක්ෂම ලෙස නිෂ්පාදනය කරන දේශීය අර්තාපල් සඳහා වැඩි මුදලක් ගෙවන බවයි. එසේම, ඔවුහු පරිභෝජනය කරන ආනයනික අර්තාපල් සඳහා ද රජයට වක්‍ර බදු ගෙවති.


ආරක්ෂණවාදී බදු එකතු වීමෙන් සැමටම ආහාර වඩාත් මිල අධික වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ශ්‍රම පිරිවැය ඉහළ යයි. එබැවින්, ගෝලීයව තරග කළ යුතු බොහෝ කර්මාන්ත ඉහළ ශ්‍රම පිරිවැය හේතුවෙන් අඩාල වී ඇත.
අකාර්යක්ෂම දේශීය නිෂ්පාදකයන්ගෙන් සැපයුම් ලබා ගැනීමෙන් අනිවාර්යයෙන්ම අවදානම අඩු නොවේ. කෘෂිකර්මාන්තය යනු සහජයෙන්ම අවදානම් සහිත ක්ෂේත්‍රයකි. ගංවතුර, නියඟය, කෘමීන් සහ රෝග මඟින් බෝග විනාශ කළ හැකිය. සැබවින්ම ඔරොත්තු දීමේ හැකියාවක් සහිත සැපයුම් ජාලයක් (අර්තාපල් සඳහා වැලිමඩ වැනි) තනි ප්‍රදේශයක් හෝ තනි රටක් මත යැපෙන්නේ නැත. රටට අවශ්‍ය සියලුම සහල් සඳහා වියට්නාමය වැනි යම් රටක් මත සම්පූර්ණයෙන්ම යැපෙන්නේ නැති ආකාරයටම, සහල් සම්බන්ධයෙන් ස්වයංපෝෂිත වීම පරම ප්‍රතිපත්තිමය අරමුණක් ලෙස සැලකීම එතරම් යහපත් අදහසක් නොවිය හැකිය. කොවිඩ්-19 වසංගතය සහ ගෝලීය සැපයුම් ජාල බිඳ වැටීම් හමුවේ, වියට්නාමය විසින් සහල් අපනයනය සඳහා යම් සීමා පනවන ලදි. එය එහි ගැනුම්කරුවන් අතර යුක්තියුක්ත (legitimate) කනස්සල්ලක් ඇති කිරීමට හේතු විය. එහෙත් අනෙක් අතට, දේශීය නිෂ්පාදනය මත සම්පූර්ණයෙන්ම යැපීම ද අවදානම් සහගතය. 2015-16 වසරවලදී මෙට්‍රික් ටොන් මිලියන 2.9ක් වූ නිෂ්පාදනය 2016-17 නියඟය හේතුවෙන් මෙට්‍රික් ටොන් මිලියන 1.5 දක්වා අඩු වූ විට එය මනාව පැහැදිලි විය.


එබැවින්, ආහාර සුරක්ෂිතතාව සඳහා සැබෑ විසඳුම වන්නේ ස්වයංපෝෂිත වීම සඳහා වන සරල උත්සාහය නොවේ. මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම සහ සැපයුම් ජාල ශක්තිමත් බව සහතික කිරීම හරහා පිරිවැය සහ අවදානම් කළමනාකරණය තුලනය කිරීම ඊට සැබෑ පිළිතුරයි. අවහිරතා ලක්ෂ්‍ය (choke points) පාලනය කරන ඒකාධිකාර මතු වීම වැළැක්වීම ද මෙම ප්‍රතිචාරයේ වැදගත් කොටසකි. විවිධ දර්ශක 34ක භාරිත සංයෝජනයක් (weighted combination) හරහා ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය මඟින් ග්‍රහණය කර ගැනීමට උත්සාහ කරන්නේ මෙම සංකීර්ණ තුලන සහ ගනුදෙනු වේ.


ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඇගයීම


2019 වසරේදී ශ්‍රී ලංකාව රටවල් 113ක් අතරින් 66 වැනි ස්ථානයට පත් විය. පෝෂණ ප්‍රමිතීන්, සාමාන්‍ය ආහාර පිරිවැයේ වෙනස, ගෝලීය දරිද්‍රතා රේඛාවට පහළින් සිටින ජනගහන අනුපාතය, ආහාර ආරක්ෂාව සහ ආහාර නාස්තිය යන අංශවලින් ශ්‍රී ලංකාව ඉහළ ලකුණු ලබා ගත්තේය. ඊට අමතරව, නාගරික අවශෝෂණ ශක්‍යතාව, කෘෂිකාර්මික නිෂ්පාදනයේ විචල්‍යතාව සහ ගොවීන්ට මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව යන අංශ සඳහා ද ඉහළ ලකුණු හිමි විය. කෘෂිකාර්මික පර්යේෂණ සහ සංවර්ධන (R&D) සඳහා වන රාජ්‍ය වියදම, මිල දී ගැනීමේ හැකියාවේ සමානාත්මතාව මත පදනම් වූ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ප්‍රෝටීන්වල ගුණාත්මකභාවය සහ දේශපාලන ස්ථාවරත්වය යන සාධක මඟින් එහි ලකුණු පහත දමා ඇත. (දේශපාලන ස්ථාවරත්වය යනු 2018 සහ 2019 අතර සිදු වූ විශාලතම පරිහානියයි).


ශ්‍රී ලංකාවේ සමස්ත ලකුණු ප්‍රමාණය සාමාන්‍යයට වඩා තරමක් පහළ මට්ටමක පැවතුණි. එසේම ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් එය සෑහෙන දුරට පහළ මට්ටමක පැවතුණි. එය දකුණු ආසියාවේ අනෙකුත් සමකාලීන රටවලට වඩා ඉදිරියෙන් සිටියේය. එහෙත්, අග්නිදිග ආසියාවේ ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවලට වඩා පසුපසින් සිටියේය. ඉන්දියාව 72 වැනි ස්ථානයට පත් වූ අතර පාකිස්ථානය (78 වැනි) සහ නේපාලය (79 වැනි) ඊටත් වඩා පහළ මට්ටමක පැවතුණි. සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකාවේ තත්ත්වය එතරම් නරක නොවුණ ද, මීට වඩා හොඳින් කටයුතු කිරීමට ඊට හැකියාව තිබුණි.
ස්වාභාවික සම්පත් සහ ඔරොත්තු දීමේ හැකියාව ඊට එක් කළ විට, ශ්‍රී ලංකාව රටවල් 113ක් අතරින් 67 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබෑමකට ලක් විය. සමහර රටවල ඔරොත්තු දීමේ හැකියාවට සම්බන්ධ සාධකවල බලපෑම වඩාත් විශාල වේ. නිදසුනක් ලෙස, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුළුල් විචල්‍යතා පෙන්නුම් කරයි. මූලික දර්ශකයේ 12 වැනි ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව, ස්වාභාවික සම්පත් සහ ඔරොත්තු දීමේ හැකියාව සැලකිල්ලට ගැනීමේදී 16 වැනි ස්ථානය දක්වා පහත වැටේ. එහෙත්, නවසීලන්තය ස්ථාන පහකින් ඉදිරියට පැමිණ 14 වැනි ස්ථානයට පත් වෙමින් ඕස්ට්‍රේලියාව අභිබවා යයි.


පිරිවැය පිළිබඳව සංවේදී වන ඔරොත්තු දීමේ හැකියාව

කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාරය සහ ඒ හේතුවෙන් ආහාර සැපයුම් ජාලවලට සිදු වූ හානිය මඟින් සමස්ත කෘෂිකාර්මික පද්ධතියම සම්පූර්ණයෙන් යළි පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව මතු කළේය. වර්තමාන පද්ධතියේ ඇති බිඳෙනසුලු ස්වභාවය මේ හරහා අනාවරණය වී ඇත. එහෙත් ඊට දක්වන ප්‍රතිචාරය සූක්ෂ්ම විය යුතු අතර, ආහාර සඳහා යොදවන මුදලට සරිලන වටිනාකමක් ලබා දීමේ අවශ්‍යතාවට නිසි සැලකිල්ලක් දක්වමින් සාක්ෂි පිළිබඳ මනා සලකා බැලීමක් මත එය පදනම් විය යුතුය. අකාර්යක්ෂම නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ආනයන තහනම් කිරීම සහ පාරිභෝගිකයන් මත බදු පැනවීම වෙනුවට රජය වෙනත් පියවරක් ගත යුතුය. එනම්, සැපයුම් ජාල දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විවිධාංගීකරණය වී ඇති බැවින් ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීමයි. මේ සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ සැපයුම් ජාල තුළ ඇති සම්බන්ධතා ඒකාධිකාරීකරණය (monopolization) වීම වැළැක්වීමයි.


ස්වයංපෝෂිත වීම වැනි සරල සටන් පාඨ වෙත පසුබැසීම පමණක් ප්‍රමාණවත් නොවේ. 1970 දශකයේ සිට ශ්‍රී ලංකාවට එම ප්‍රතිපත්ති පිළිබඳ අත්දැකීම් ඇත. එමඟින් ධනවතුන් සඳහා කළු කඩ නිර්මාණය වූ අතර දුප්පතුන් මන්දපෝෂණයට ලක් විය. පාරිභෝගික රුචිකත්වය සලාක කඩ මඟින් තෘප්තිමත් කළ නොහැකි වඩාත් සංකීර්ණ වර්තමාන ආර්ථිකයක් තුළ, වඩාත් සරල කාලයක ක්‍රියාත්මක කළ දෑ සාර්ථක කර ගත නොහැකිය.

මහාචාර්ය රොහාන් සමරජීව දේශපාලන හා සමාජ ක්‍රියාකාරික