විශේෂාංග ·

ජාතියේ යශෝරාවය: විශාරද නන්දා මාලිනී

සටහන - ධනු කුලතුංග

ජාතියේ යශෝරාවය: විශාරද නන්දා මාලිනී
(විශාරද නන්දා මාලිනී)

August 21 (Citizen News) - විශාරද නන්දා මාලිනිය, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයක් සහ පූර්ණ සලකුණක් තැබූ අසහාය ගායන ශිල්පිනියක වූවාය. දශක හයකටත් වඩා වැඩි කාලයක් පුරා ඇය පිනවූයේ ලාංකේය රසික හදවත් පමණක් නොව, සමාජයේ අසාධාරණයට සහ අයුක්තියට එරෙහිව හඬ නැගූ ශක්තිමත් සංගීත ප්‍රවාහයක්ද ගොඩනැගුවාය.

1943 අගෝස්තු 23 වන දින අලව්වේදී උපත ලද ඇය, පසුව කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. කුඩා කල සිටම සහජ ගායන හැකියාවක් ප්‍රදර්ශනය කළ ඇගේ කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ ඇයට සංගීත ක්ෂේත්‍රයට යොමු වීමට මංපෙත් විවර විය.

කාව්‍ය තරගයකදී ඇගේ හැකියාව දුටු ගුරුවරියක් විසින් ඇයව කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ "ළමා මණ්ඩපය" වැඩසටහනට හඳුන්වා දෙන ලදී. එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් විය.
1961 වසරේ නිෂ්පාදනය කළ "රන්මුතු දූව" චිත්‍රපටයේ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකර මහතා සමඟ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් ඇය සිනමා පසුබිම් ගායනයට පිවිසුණාය. පසුව ඉන්දියාවේ ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයට ගොස් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත්තාය.

නන්දා මාලිනියගේ ගීත කලාත්මක භාවයෙන් මෙන්ම ප්‍රබල පදමාලාවලින්ද සමන්විත විය. ප්‍රේමය, භක්තිය, දේශවාත්සල්‍යය මෙන්ම සමාජ-දේශපාලන අර්බුදයන් තේමා කරගනිමින් ඇය ගීත ගායනා කළාය.

'ශ්‍රාවණ ආරාධනා', 'සත්‍යයේ ගීතය', 'පවන' වැනි ඒකපුද්ගල ගීත ප්‍රසංග ලාංකේය වේදිකා සංගීතයේ දැවැන්ත පෙරළියක් ඇති කළේය. විශේෂයෙන්ම 'පවන' ප්‍රසංගය එකල පැවැති සමාජීය හා දේශපාලනික අයුක්තියට එරෙහිව හඬ නැගූ ප්‍රබලතම කලාත්මක මෙවලමක් විය. ජනප්‍රිය ගීත: "අම්මාවරුනේ", "මා නිවන් දැක අතහැර ආවා", "රුක් අත්තන මල මුදුනේ", "සාරද මෑණියන්", "වෘක්ඛදේවතා" සහ කුඩා දරුවන් උදෙසා කළ "සින්දු හෝඩිය" ඇල්බමය ඇගේ නිර්මාණ පරාසය මැනවින් පෙන්වයි.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට කළ අසමසම මෙහෙවර වෙනුවෙන් නන්දා මාලිනී මහත්මිය හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක්, ජනාධිපති සම්මාන 10ක් ඇතුළුව දේශීය හා විදේශීය සම්මාන රැසකින් පිදුම් ලැබුවාය.

එමෙන්ම විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියකින් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ගායන ශිල්පිනිය වන්නේද ඇයයි.


අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ සිය අසමසම ස්වර මංජරියෙන් හෙළ සංගීත අඹර ඒකාලෝක කළ මෙම අසහාය කලාකාරිනිය, ඊයේ (20) දින සිය ජීවන ගමනට සමුදුන්නාය. ඇගේ නික්ම යාම ශ්‍රී ලාංකේය කලා කෙතට පිරවිය නොහැකි මහත් පාඩුවක් වුවද, ඇය ගායනා කළ ඒ අමරණීය ගීත රාවයත්, නිර්භීත හඬත් සමස්ත ලාංකේය ජනතාවගේ හදවත් තුළ සදාතනිකවම ජීවමාන වනු ඇත.