විශේෂාංග ·

'Media Fest Sri Lanka 2026' කොළඹදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

'Media Fest Sri Lanka 2026' කොළඹදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි
Ashok Malik: Partner and Chair of the India Practice at The Asia Group, Maria Shakil: Managing Editor of India Today, Smita Prakash: Editor-in-Chief and Deputy CEO of Asian News International (ANI) in India, H.E. Santosh Jha: High Commissioner of India to Sri Lanka, Kaushalya Ariyarathne: Deputy Minister of Mass Media, Nisthar Cassim: President SLIMFA

July 12 (Citizen News) -ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද 'Media Fest Sri Lanka 2026' මාධ්‍ය සමුළුව ඊයේ (ජූලි 11) කොළඹ, තාජ් සමුද්‍රා හෝටලයේ Grand Marquee පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

'Staying relevant in a changing world'යන තේමාව යටතේ මෙම සමුළුව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා - ඉන්දු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (Sri Lanka India Media Friendship Association - SLIMFA) විසිනි.

'Media Fest Sri Lanka 2026' හි සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. මීට අමතරව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින්:

''රජය බලාපොරොත්තු වන්නේ, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට තම ජනමාධ්‍ය කර්මාන්තය තුළ ඉතාමත් ගෞරවනීය අන්දමින් නියැලීමට හැකි සුදුසු වටපිටාවක් සහ පරිසරයක් උදා කර දීමටයි. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වගකීම් සහගත, ස්වාධීන සහ වෘත්තීයමය මාධ්‍ය ක්ෂේත්‍රයක් අත්‍යවශ්‍ය බව අප තරයේ විශ්වාස කරනවා. අපගේ වගකීම වන්නේ ගුණාත්මක මාධ්‍ය කලාවකට වර්ධනය විය හැකි, මාධ්‍යවේදීන්ට ආරක්ෂිතව වැඩ කළ හැකි, නවෝත්පාදනයන් දිරිමත් කරන සහ නිදහස වගකීම සමඟ සමපාත වන පරිසරයක් නිර්මාණය කිරීමයි."

'Media Fest Sri Lanka 2026' හි ප්‍රධාන දේශකයන් ලෙස ඉන්දියාවේ ආසියානු නිව්ස් ඉන්ටර්නැෂනල් (ANI) හි ප්‍රධාන කර්තෘ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිනී ස්මිතා ප්‍රකාශ් (Smitha Prakash), ඒෂියා ගෲප් (The Asia Group) හි හවුල්කරු සහ ඉන්දීය කටයුතු අංශයේ සභාපති අශෝක් මලික් (Ashok Malik) සහ ඉන්ඩියා ටුඩේ (India Today) හි කළමනාකාර කර්තෘ මරියා ශකීල් (Maria Shakil) යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

කෘතිම බුද්ධිය (Artificial Intelligence) සහ සමාජ මාධ්‍ය හේතුවෙන් සමස්ත මාධ්‍ය කර්මාන්තයම ඉතිහාසයේ විශාලතම පරිවර්තනයකට ලක්වෙමින් පවතින බව මෙම උළෙලේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී ප්‍රවීණයන් පෙන්වා දුන්නේ, තාක්ෂණය මඟින් තොරතුරු වාර්තාකරණයේ සීමාවන් පුළුල් කර තිබුණද, "විශ්වාසනීයත්වය" (Credibility) යනු සෑම මාධ්‍ය ආයතනයකම වටිනාම වත්කම වන බවයි. තාක්ෂණික දියුණුව හමුවේ වුවද නිවැරදිභාවය (Accuracy), සාධාරණත්වය (Fairness) සහ මහජන විශ්වාසය (Public Trust) වැනි මාධ්‍ය ක්ෂේත්‍රයේ මූලික සදාචාරයන් කිසිසේත් වෙනස් නොවන බව සමුළුවේදී පැහැදිලි කෙරිණි.

CWIT, කොමර්ෂල් බැංකුව, තාජ් සමුද්‍රා හෝටලය සහ 'Media Fest Sri Lanka 2026' හි නිර්මාණශිලි සහ මහජන සබඳතා සහකරු (Creative & PR Partner) ලෙස CMN Agency ඇතුළු ප්‍රමුඛ පෙළේ ආයතන රැසක අනුග්‍රහකත්වය ඇතිව මෙම සමුළුව සාර්ථකව සංවිධානය කර තිබුණි.