July 21 (Citizen News) - අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම මුල්කරගනිමින්, BBC සිංහල සේවයේ මාධ්‍යවේදින් ලබන ජූලි 23 වන බ්‍රහස්පතින්දා පස්වරු 2:00 ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ශව කිහිපයක් Citizen.lk පුවත් වෙත තහවුරු කළා.
මෙලෙස කැඳවීමට හේතු වී ඇත්තේ, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශන සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණයේදී දැක්වූ කරුණු සහ ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී සංසදයේදී ඇති වූ සංවාදය පිළිබඳව BBC සිංහල සේවය විසින් පළ කරන ලද විශේෂ අනාවරණයයි.
BBC සිංහල සේවය විසින් පළ කරන ලද ලිපිය පහතින්:
උපුටා ගැනීම.
බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද ?
පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇති බවට බීබීසීයට විශ්වසනීය මූලාශ්‍රයකින් තොරතුරු ලැබී තිබේ.
චෝදනා එල්ල වන හිමිනම අත්අඩංගුවට නොගැනීම ගැන අප්‍රසාදයක්
මෙලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්‍රියා කලාපය බරපතළ ලෙස විවේචනය කරමින් දෝෂදර්ශනයට ලක් කර ඇත්තේ අදාළ නඩුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වූ අවස්ථාවේදී ය.
එම සංසදයේ සභාපතිනි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම ජූනි 5 වන දා පවත්වා ඇති අතර ඒ සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග අමරසිංහ, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේකෝන්, උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් නිර්මාණී අමරතුංග, බස්නාහිර පළාත් පරිවාස කොමසාරිස්වරිය සහ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු බස්නාහිර පළාතේ උසස් නිලධාරින් රැසක් මෙන් ම නීතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කැඳවා තිබිණ.
'කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට සිදුවූ බව ප්‍රකාශ කළේ කුමන පදනමකින් ද?'
මෙම රැස්වීම ආරම්භයේදී ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය අමතමින් පවසා ඇත්තේ, දැරියක දූෂණය කිරීමේ මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය පොලිසියේ විමර්ශන පිළිබඳව විවේචනය කරමින් කරුණු දැක්වීම තුළින් විමර්ශන නිලධාරීන් අධෛර්යවත් කර ඇති බව ය.
ආවට ගියාට කරන්න බැහැ. මොකද සාක්ෂිත් එක්ක යන්න ඕනේ' - පොලිසිය
තමන් ද මෙම විෂය පිළිබඳව හොඳින් දන්නා බව ද ප්‍රකාශ කර ඇති නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය, මසක් වැනි කෙටි කලක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරදක් නැති බව ප්‍රකාශ කර තිබේ.
සැකකාර හිමි නම අත්අඩංගුවට ගැනීමට 'කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට සිදුවූ' බව ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂවරියගෙන් ප්‍රශ්න කර ඇති මන්ත්‍රීවරිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසියට බලපෑම් එල්ල වූයේ නම් එසේ බලපෑම් කළේ කවුරුන් ද යන්න හෙළි කරන ලෙස ද ඉල්ලා තිබිණි.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලගැන්වීමේ අධ්‍යෂකවරිය පොලිසියේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කළ කරුණු දැක්වීම මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිල මාධ්‍ය නිහඬ වී ඇති පසුබිමක යූටියුබ්කරුවන්ට ආයුධ සපයමින් රජය සහ පොලිසිය පිළිබඳව සමාජය තුළ වැරදි මතයක් ජනගත කිරීමට වෙර දරා ඇති බව ද ප්‍රකාශ කොට තිබේ.
ළමාරක්ෂක අධිකාරියේ නීති අධ්‍යක්ෂවරිය චෝදනාවලට දැක්වූ ප්‍රතිචාරය
මන්ත්‍රීවරියගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂවරිය පවසා ඇත්තේ, ළමාරක්ෂක ආඥා පනතට අනුව, මෙවැනි සිද්ධියකදී වින්දිත පාර්ශවයට නිසි අයුරින් යුක්තිය ඉටු වන්නේ ද යන්න විමසා බැලීම සහ එලෙස යුක්තිය ඉටු නොවන අවස්ථාවකදී ඊට මැදිහත්වීම ජාතික ළමාරක්ෂක අධිකාරියේ ව්‍යවස්ථාපිත වගකීමක් බව ය. මෙම සිද්ධියේදී තම අධිකාරිය ඉටු කළේ එම රාජාකාරි නිල කටයුත්ත පමණක් බව ද අධ්‍යක්ෂවරිය පවසා තිබේ. සැකකාර හිමනම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බලපෑම් කළේ කවුරුන් දැයි මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින් නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ සජීවනී අබේකෝන් පවසා තිබුණේ, බලපෑම් එල්ල කළේ කවුරුන් ද යන්න තමන් නොදන්නා බවත්, එහෙත්, තම අධිකාරිය මෝසමක් මගින් අධිකරණයට කරුණු දක්වා සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් ලබාගන්නා තුරු පොලිසිය සැකකරු අත්අඩංගුවට නොගත් බවත් ය.
බරපතළ ලිංගික අපරාධයකට ලක්වූ බව කියන 15 හැවිරිදි දැරියගේ ඇඳුම් රස පරීක්ෂක වෙත; චෝදනා එල්ලවන හිමි නම අත්අඩංගුවට නොගැනීම ගැන පොලිසිය කියන්නේ කුමක් ද?
සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නා ලෙසට ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණ නියෝග ලබා ගන්නා තුරු පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම මසක කාලයක් මග හැරියේ යම් බලපෑමක් නිසා විය හැකි බව ද ඇය සඳහන් කර තිබේ.
උපුටා ගැනිම අවසන්.
මෙම ලිපිය කියවීමට පහත සබැඳිය ක්ලික් කරන්න: https://www.bbc.com/sinhala/articles/c621g9e5ek2o
මේ අතර BBC සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට ගෙන ඇති පියවර සහ මාධ්‍ය මර්දනයට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) විසින් සිය දැඩි පිළිකුල සහ හෙළා දැකීම සම්බන්ධයෙන් මෙලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
