විශේෂාංග ·

ශ්‍රී ලංකාව අවට රටවල් රැසක පැතිරෙන මාරාන්තික නීපා වෛරසය කුමක් ද?

BBC News සිංහල වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

ශ්‍රී ලංකාව අවට රටවල් රැසක පැතිරෙන මාරාන්තික නීපා වෛරසය කුමක් ද?

January 28 (Citizen.lk News) - ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය පුරා පැතිර ගිය වසංගතයකින් පසු නීපා වෛරසය රට පුරා පැතිරීම සීමා කිරීමට බලධාරීහු දැඩි වෙහෙසක් දරමින් සිටිති.

මෙම මස මුලදී සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පුද්ගලයින් 110ක් පමණ නිරෝධායනයට යොමු කර ඇත. ඔවුන් වෛරසය ආසාදිත බවට තහවුරු කරන ලද රෝගීන් සමග සම්බන්ධතා පවත්වා තිබූ නමුත් පසුව කළ පරීක්ෂා කිරීමේදී ඔවුන් ආසාදිතයින් නොවන බව තහවුරු වී තිබේ.

බොහෝවිට මාරාන්තික වන වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යාමේ හැකියාවක් පවතින අතර ඒ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දැනට එන්නතක් හෝ වෙනත් ඖෂධයක් නොමැත. ගෝලීය වසංගත තත්ත්වයක් ඇති වීමට පවතින හැකියාව හේතුවෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ඉබෝලා, සිකා සහ කොවිඩ්-19 සමග පර්යේෂණ සඳහා ප්‍රමුඛ රෝගයක් ලෙස ලැයිස්තුගත කර ඇත.

වෛරසය කොපමණ අනතුරුදායක ද? එහි රෝග ලක්ෂණ මොනවා ද?

නීපා වෛරසය පැතිරෙන්නේ කෙසේ ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, නීපා වෛරසය යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යන "සත්ත්වජනිත රෝගයක්" වන අතර, මෙය ඌරන් සහ වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාව පවතී.

එමෙන් ම, දූෂිත ආහාර මගින් සහ ආසාදිත පුද්ගලයෙකු සමග ඍජු සම්බන්ධතා පැවැත්වීම මගින් ද මෙය පැතිර යා හැක. ආසියාවේ ඇතැම් ප්‍රදේශවලින්, විශේෂයෙන් බංග්ලාදේශය සහ ඉන්දියාව තුළ සෑම වසරක ම පාහේ මෙම වසංගත තත්ත්වයන් වාර්තා වේ.

මීට පෙර වාර්තා වූ බොහෝ ආසාදන සඳහා ප්‍රධාන හේතුව වූයේ, වෛරසය ආසාදිත වවුලන්ගේ මුත්‍රා හෝ කෙළවලින් දූෂිත වූ පලතුරු හෝ පලතුරු නිෂ්පාදන පරිභෝජනය කිරීම ය.

රෝග ලක්ෂණ මොනවා ද?

Nipah

වෛරසය මිනිසුන්ට ආසාදනය වූ විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන උග්‍ර ශ්වසන ආසාදන (මෘදු, දරුණු) සහ මාරාන්තික එන්සෙෆලයිටිස් (මොළය ඉදිමීම) දක්වා විහිදේ. ආසාදිත පුද්ගලයින් බොහෝවිට පළමුව උණ, හිසරදය, මයිල්ජියා (මාංශ පේශි වේදනාව), වමනය සහ උගුරේ වේදනාව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

ඉන් අනතුරුව කරකැවිල්ල, නිදිබර ගතිය, සිහිමද ස්වභාවය සහ උග්‍ර එන්සෆලයිටිස් තත්ත්වයක් පෙන්නුම් කරන ස්නායු රෝග ලක්ෂණ ඇති විය හැක.

ඇතැම් පුද්ගලයින්ට අසාමාන්‍ය නියුමෝනියාව සහ උග්‍ර ශ්වසන අපහසුතා ඇතුළු දරුණු ශ්වසන ගැටලු ද මතුවීමේ හැකියාව පවතී. මොළයේ දැවිල්ල ඇති කරන තත්ත්වයක් වන එන්සෆලයිටිස් සහ දරුණු අවස්ථාවලදී අපස්මාරය තත්ත්වයන් ඇති වන අතර පැය 24 සිට 48 දක්වා කාලය තුළ කෝමා තත්ත්වයට පත්විය හැකි ය.

ආසාදනය වීමට ගත වන කාලය ( වෛරසයට නිරාවරණය වීමේ සිට රෝග ලක්ෂණ පහළවීම දක්වා) දින 4 සිට 14 දක්වා යැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් දින 45ක් තරම් දිගු ආසාදන කාලයක් ද වාර්තා වී ඇත.

නීපා වෛරසය ආසාදිතවූවන්ගෙන් 75%ක් දක්වා මිය ගොස් තිබේ.

එන්නතක් තිබේ ද?

මෙම රෝගයට එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. රෝග ලක්ෂණ මතුවීම පාලනය කිරීම සහ ආධාරක සත්කාර ලබා දීම පමණක් සිදු කෙරේ.

පළමු නීපා වසංගතය මැලේසියාවේ පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසකට ජීවිත අහිමි කළ අතර, වෛරසය පාලනය කිරීමේ උත්සහයක් ලෙස ඌරන් මිලියනයක් මරා දමන ලදී. 1999 වසරේදී වෛරසය මුලින් ම සොයාගත් ගම්මානය අනුව එය නම් කර ඇත.

මැලේසියාවෙන් ආනයනය කරන ලද ඌරන් සමග සම්බන්ධ වූ ඝාතකාගාර සේවකයින්ගෙන් සිංගප්පූරුවට ද එය පැතිර ගිය අතර ආසාදිතයින් 11 දෙනෙකු සහ එක් මරණයක් වාර්තා විය.

මෑත වසරවලදී බංග්ලාදේශය ඉන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර 2001 වසරේ සිට පුද්ගලයින් 100කට වැඩි පිරිසක් නීපා රෝගයෙන් මිය ‍යමින් සිටිති. කලින් කලට ඉන්දියාවෙන් ද රෝගය හඳුනා ගැනේ.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් 2023 සහ 2018 වසරවලදී රෝගීන් වාර්තා වී ඇත.

පුළුල් පරීක්ෂණ සහ රෝගීන් සමග සම්බන්ධ වූ පුද්ගලයින් දැඩි ලෙස හුදෙකලා කිරීම මගින් පෙර පැවති වසංගත තත්ත්වය සති කිහිපයක් ඇතුළත සාර්ථකව කළමනාකරණය කිරීමට ප්‍රාන්තය සමත් විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ආසාදනය වීමේ අවදානමක් පවතින අනෙකුත් රටවල් අතර කාම්බෝජය, ඝානාව, ඉන්දුනීසියාව, මැඩගස්කරය, පිලිපීනය සහ තායිලන්තය වන අතර මෙම රටවල සිටින වවුලන් තුළ වෛරසය පවතින බවට සාක්ෂි හමුවී ඇත.