June 02 (Citizen News) - ශ්‍රී ලංකාවේ ආයෝජන විභවයන් ජාත්‍යන්තරය හමුවේ තැබීමේ අරමුණින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නුවරදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
එහි පළමු පියවර ලෙස ඔහු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී (U.S. Department of State) එරට ආර්ථික වර්ධන, බලශක්ති සහ පරිසර පිළිබඳ පරිපාලන උප ලේකම් (Under Secretary) ජේකබ් හෙල්බර්ග් (Jacob Helberg) හමුවී සාකච්ඡා පවත්වා ඇත.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇත.
ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධන අදියර සඳහා ඇමෙරිකානු ආයෝජන සහ තාක්ෂණික දායකත්වය ලබාගත හැකි වරාය, සැපයුම් දාම (Logistics), බලශක්ති සහ දත්ත මධ්‍යස්ථාන (Data Centres) වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශවයේ අවධානය යොමුව ඇත.
2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් උගත් පාඩම් පාදක කරගනිමින්, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන රැඳී පවතින්නේ විවෘතභාවය සහ ලෝකය සමඟ විශ්වාසනීයව කටයුතු කිරීම මත බව ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් වඩාත් විවෘත, තරඟකාරී සහ ආයෝජන සඳහා හිතකර ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය කැපවී සිටින බවද ඔහු අවධාරණය කරයි
මෙම සාකච්ඡාවේදී උප ලේකම් හෙල්බර්ග් ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර, දෙරට අතර වාණිජමය අවශ්‍යතා මෙන්ම පොදු වටිනාකම් මත පදනම් වූ ශක්තිමත් සබැඳියාවක් ගොඩනැගීමට ඇති සූදානම පළ කර ඇත.
මෙම සාකච්ඡා ප්‍රායෝගික සහ ප්‍රතිඵලදායී ලෙස ඉදිරියට ගෙනයාම සඳහා උප ලේකම්වරයාට කොළඹ සංචාරයක නිරත වන ලෙස ද බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ආරාධනා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ඍජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීම විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත.