26 පෙබරවාරි
08:09:58 පෙර වරු
පුවත් ·

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරේ වැඩසටහනට රජය කෝටියක් වියදම් කරලා

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ  උතුරේ වැඩසටහනට රජය  කෝටියක් වියදම් කරලා
ජනපති අනුර කුමාර දිසානායක ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන අමතමින් (ඡායාරූපය: Newsfirst)

February 25 (Citizen.lk News) - විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා රජය විසින් සංවිධානය කරන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන වෙනුවෙන් පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ අනාවරණය වී තිබෙනවා.

යාපනයේ නිදහස් මාධ්‍යවේදී ස්වර්ණලිංගම් වර්ණන් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගත් දත්තවලට අනුව, 2026 ජනවාරි 16 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති මෙම එක්දින වැඩසටහන සඳහා රජය රුපියල් 1,10,79,075.00ක මුදලක් වැය කර ඇත.

ලබාගෙන ඇති තොරතුරු අනුව වියදම් බෙදී ගොස් ඇත්තේ පහත පරිදිය:

ඒ අනුව, වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ, ශාලා පහසුකම් වෙනුවෙන් වන අතර එය රුපියල් 52,37,000.00 කි.

රැස්වීමට බස් යොදවා පිරිස් කැඳවා තේපැන් සංග්‍රහයක් පැවැත්වීමට කෝටි බාගයකට වඩා වියදම් කර තිබෙනවා.

තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් 31,13,233.00 ක් වියදම් කර ඇති අතර සහභාගී වු ජනතාවගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් රුපියල් 23,43,885.00 ක මුදලක් වියදම් කර ඇත.

උත්සවය සුදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් 1,18, 940.00 ක්, බැනර් සදහා රුපියල් 51,700.00ක්, පානීය ජලය හා වැසිකිලි පහසුකම් සදහා රුපියල් 36,890.00 ක් මෙන්ම පිළිගැනීමේ කටයුතු වෙනුවෙන් රුපියල්  23,375.00 ක් වියදම් කර තිබෙනවා.

මීට අමතරව, වෙනත් වියදම් සඳහා රුපියල් 1,54,052.50 මුදලක් වියදම් කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය මර්ධන ජාතික ව්‍යාපාරය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ,

යුද්ධයෙන් පසු උතුරේ මව්පියන් සිය දරුවන් පිළිබඳව බියෙන් පසු වන්නේ මෙම මත්ද්‍රව්‍ය උවදුර නිසා බවත්, ජාති, ආගම් හෝ දරිද්‍රතාවය නොසලකා පැතිර යන මෙම උවදුර මුලිනුපුටා දැමීමේ ව්‍යාපාරය කිසිසේත් පසුපසට නොගන්නා බවත්, ඒ වෙනුවෙන් ජනතාව මහා ආරක්ෂක වළල්ලක් ලෙස එක්විය යුතු බවත් ය.