· 1 min read

දේශපාලන (පක්ෂ) අවකාශ අපරාධකරුවන් අතට පත්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අපරාධීය ස්වරූප

ආචාර්ය අතුලසිරි සමරකෝන්ගේ විසින් ලියන ලද්දකී.

දේශපාලන (පක්ෂ) අවකාශ අපරාධකරුවන් අතට පත්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අපරාධීය ස්වරූප

June 30 (Citizen News) - ප්‍රජාතන්ත්‍රවාදයක මූලික පදනම වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණ, නීතියේ ආධිපත්‍ය, සහ දේශපාලන පක්ෂ අතර සාමකාමී තරගයකි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය විමසා බැලූ විට, මෙම ප්‍රජාතන්ත්‍රවාදී පදනම් බොහෝ අවස්ථාවල බිඳ වැටුණු බව පැහැදිලි වේ. මැතිවරණ යනු ජනතා කැමැත්ත ප්‍රකාශ කරන ක්‍රියාවලියක් විය යුතු වුවද, දීර්ඝ කාලයක් එය බලය සඳහා වූ ප්‍රචණ්ඩ ගැටුමක් බවට පත්ව තිබුණි.

විශේෂයෙන් 1977 න් පසු දේශපාලන තරගය වඩාත් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගත්තේය. මැතිවරණ ප්‍රචණ්ඩත්වය, ඡන්ද මංකොල්ලය, විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන්ට පහරදීම, නිවාස ගිනි තැබීම, රාජ්‍ය සම්පත් දේශපාලන වාසිය සඳහා යොදා ගැනීම සහ බලයට පත් පක්ෂය විසින් විරුද්ධ මතධාරීන්ට රාජ්‍ය සේවා හා වරප්‍රසාද අහිමි කිරීම සාමාන්‍ය දේශපාලන සංසිද්ධි බවට පත් විය. 1982 ජනමත විචාරණය, 1988–89 කාලය සහ 1999 වයඹ පළාත් සභා මැතිවරණය වැනි අවස්ථා ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අඳුරු පරිච්ඡේද ලෙස සැලකේ.

2015 න් පසු පැවති මැතිවරණ කිහිපයකදී සාපේක්ෂව නිදහස් හා සාමකාමී තත්ත්වයක් වර්ධනය වූ බව පිළිගත හැකිය. එය මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය, සිවිල් සමාජීය ක්‍රියාකාරීත්වය සහ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය වැනි සාධකවල ප්‍රතිඵලයකි. එහෙත්, මැතිවරණ ප්‍රචණ්ඩත්වය අඩුවීමෙන් පමණක් දේශපාලන පද්ධතියේ ගැඹුරු අර්බුදය විසඳී නොමැති බව පෙනෙයි.

අද වන විට වඩාත් බරපතළ ගැටලුව වන්නේ දේශපාලන පක්ෂ අපරාධකරණයට (criminalization of political parties) ලක්වීම ය. මෙය නූතන දේශපාලන විද්‍යාවේ පුළුල් ලෙස සාකච්ඡා වන සංකල්පයකි. එහි අර්ථය වන්නේ සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කප්පම්කරුවන්, මූල්‍ය වංචාකරුවන් සහ ප්‍රචණ්ඩ කණ්ඩායම් දේශපාලන පක්ෂවලට ඇතුළුවී, ඒවායේ තීරණ ගැනීමේ බලයට හා අපේක්ෂකයන් තේරීමේ ක්‍රියාවලියට බලපෑම් කිරීමයි. මෙහිදී දේශපාලන පක්ෂ යනු අපරාධකරුවන් විසින් පාලනය කරනු ලබන ක්ෂේත්‍රයක් බවට පත්වන අතර, අනෙක් අතට අපරාධකරුවන් දේශපාලනය සිය ස්වයං ආරක්ෂාව සඳහා භාවිතා කරන බව පෙනෙයි. .

මෙය එක් පක්ෂයකට පමණක් සීමා වූ ගැටලුවක් නොවේ. ඉතිහාසය පුරාම විවිධ ප්‍රධාන පක්ෂ අපරාධ චෝදනා ලැබූ පුද්ගලයන්ට නාමයෝජනා ලබා දී තිබේ. ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා "ජයග්‍රහණය කළ හැකි" පුද්ගලයා යන නිර්ණායකය, එම පූද්ගලයන් ගේ නීතිගරුකභාවය හෝ සදාචාරය ඉක්මවා ගොස් ඇත. මේ හේතුවෙන් දේශපාලනයේ සදාචාරාත්මක පදනම ක්‍රමයෙන් දුර්වල වී තිබේ.

අදවන විට අපට දකින්නට අසන්නට ලැබෙන, ඇතැම් දේශපාලනඥයන්ට සම්බන්ධ පුද්ගලයන්, දේශපාලන නායකයන් සහ පාතාල කණ්ඩායම් අතර පැවති බව කියන මූල්‍ය ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ සහ මාධ්‍ය වාර්තා, දේශපාලනය සහ සංවිධානාත්මක අපරාධ අතර සම්බන්ධතා පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි. කෙසේ වෙතත්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් අවසාන අධිකරණ තීරණයක් හෝ නිල විමර්ශන නිගමනයක් ලැබෙන තුරු කිසිදු පුද්ගලයෙකු වරදකරු ලෙස සැලකිය නොහැකි බව නීතියේ මූලධර්මය අනුව සිහිපත් කළ යුතුය. එහෙත්, එවැනි චෝදනා නැවත නැවතත් මතුවීම පවා දේශපාලන පද්ධතියේ පවතින ව්‍යුහාත්මක දුර්වලතාවය පිළිබඳ සංඥා ලබා දෙයි.

ඉතාලි දේශපාලන විද්‍යාඥයන් සහ අපරාධ විද්‍යා පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, අපරාධකරුවන්ගේ සංවිධාන දේශපාලනයට ඇතුළු වන්නේ නීතියෙන් ආරක්ෂාවීමට, රාජ්‍ය කොන්ත්‍රාත්තු ලබාගැනීමට, පොලිස් බලපෑම් වලින් බේරීමට සහ ආර්ථික වාසි ලබා ගැනීම සඳහා බවයි. අනෙක් අතට, දේශපාලනඥයන් ද ඔවුන්ගේ මුදල්, ප්‍රචණ්ඩ බලය සහ ඡන්ද සංවිධාන කිරීමේ හැකියාව භාවිත කරති. මෙය දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් සන්ධානයක් බවට පත්වේ.

මෙවැනි තත්ත්වයක් දිගටම පැවතුණහොත්, ජනතාවගේ දේශපාලන පක්ෂ පිළිබඳ විශ්වාසය බිඳ වැටේ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය අඩුවන විට, ජනතාව ශක්තිමත් නායකත්වය, හමුදා මැදිහත්වීම් හෝ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව පවතින විකල්ප පාලන ක්‍රම පිළිබඳ ආකර්ෂණය වීමට ඉඩ ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදයට ඇති විශාලතම තර්ජනයකි.

එබැවින් මෙම ගැටලුවට විසඳුම් වන්නේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පමණක් නොවේ. දේශපාලන පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යන්තර ව්‍යුහයන් ගොඩනැගීම, අපේක්ෂකයන් තෝරා ගැනීමේ විනිවිදභාවය, දේශපාලන මුදල් (political finance) නියාමනය, අපරාධ චෝදනා ඇති පුද්ගලයන්ට නාමයෝජනා ලබාදීම සම්බන්ධ දැඩි ප්‍රමිතීන් ඇතිකිරීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීනත්වය සහ අධිකරණයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමයි. ඒ සදහා වන කෙටුම්පත් වහාම සැකසීම වත්මන් ආණ්ඩුවේ වගකීමකි.

සෑමවිටම, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නේ හමුදා කුමන්ත්‍රණකරුවන් හෝ ඒකාධිපති නායකයන් විසින් පමණක් නොවේ. දේශපාලන පක්ෂ ඇතුළතින් අපරාධකරණයට ලක්වීමද ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් දුර්වල කරන නිහඬ ක්‍රියාවලියකි. එබැවින් ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඕනෑම සංවාදයක මූලික අවධානය යොමු විය යුත්තේ දේශපාලන පක්ෂවල ගුණාත්මකභාවය, වගවීම සහ අපරාධ බලවේගවලින් ඒවා නිදහස් කිරීම කෙරෙහිය. ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය තීරණය වන්නේ මැතිවරණ දිනයේ පමණක් නොව, දේශපාලන පක්ෂ කෙතරම් නීතිගරුක, විනිවිදභාවයෙන් යුතු සහ අපරාධ බලපෑම්වලින් තොර ආයතන බවට පත්වන්නේද යන්න මතය.

ආචාර්ය අතුලසිරි සමරකෝන් Digital creator Lecturer at Open University of Sri Lanka Former Teaching Assistant at University of Colombo 

මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.