විශේෂාංග ·

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිමානවත් 75 වසරක් සපිරෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිමානවත් 75 වසරක් සපිරෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය (ඡායාරූප - ශ්‍රි ලංකා ගුවන් හමුදා නිල ෆෙස්බුක් පිටුවෙනි)

March 02 (Citizen.lk News) - "සුරකිමු ලකඹර" උදෘත පාඨය පෙරදැරි කරගනිමින් මෙරට ගුවන් තලය සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිය අභිමානවත් 75 වන සංවත්සරය අද (02) දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබුවා.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් උත්සවයේදී හමුදා සම්ප්‍රදායානුකූල ආචාර පෙළපාලියක් පවත්වන ලද අතර, 75 වන සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

සංවත්සර උළෙලට සමගාමීව කැඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 43 දෙනෙකු අධිකාරියට පත් කිරීම ගුවන් හමුදාධිපතිවරයා අතින් සිදු විය. එහිදී අධිකාරියට පත් නිලධාරීන් දෙදෙනෙකු වෙත පියාසර නිල ලාංජන පැළඳවීම ද විශේෂත්වයකි.

අභිමානවත් ඉතිහාසය

1951 මාර්තු 02 වන දින 'රාජකීය ලංකා ගුවන් හමුදාව' ලෙස ස්ථාපිත වූ මෙම බලකාය, 1972 මැයි 22 වන දින ශ්‍රී ලංකාව ජනරජයක් වීමත් සමඟ 'ශ්‍රී ලංකා ගුවන් හමුදාව' බවට පත් විය. වසර 75 ක කාලය තුළ ගුවන් හමුදාධිපතිවරුන් 20 දෙනෙකුගේ නායකත්වය යටතේ මෙරට ගුවන් ආරක්ෂාව මෙන්ම ජාතික විපත්වලදී මානුෂීය මෙහෙයුම් සහ ජාත්‍යන්තර සාමසාධක රාජකාරි සඳහා ද ගුවන් හමුදාව සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.

නූතන තාක්ෂණික දැනුමෙන් සහ වෘත්තීය පරිණතභාවයෙන් හෙබි විනයගරුක හමුදාවක් ලෙස ඉදිරියටත් මාතෘ භූමිය සුරක්ෂිත කිරීමට තමන් නිරතුරුවම සූදානම් බව ගුවන් හමුදාව මෙහිදී යළිත් අවධාරණය කර සිටියා.