පුවත් ·

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

June 26 (Citizen News) - පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි 26 වැනිදා සිට ජූලි 2 වැනිදා දක්වා කොළඹ මධ්‍යම කොට්ඨාසය පුරා විශේෂ රථවාහන සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබේ.

ඓතිහාසික අනුරාධපුර අටමස්ථානය, මිහින්තලේ පුදබිම සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව මෙම පියවර ගෙන ඇත.

කොම්පඤ්ඤවීදිය, කොටුව, මරදාන, මාළිගාවත්ත සහ ආදිරිප්පු වීදිය යන පොලිස් බලප්‍රදේශ තුළ ක්‍රියාත්මක වන පොසොන් කලාපය තුළ භක්ති ගීත ප්‍රසංග 3ක්, තොරණ සහ කූඩු ප්‍රදර්ශන 70ක් සහ දන්සල් 4ක් පැවැත්වීමට නියමිත අතර, ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇත.

මීට අමතරව, ප්‍රථම වතාවට බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන බාලදක්ෂ පොසොන් කලාපයක් ජූනි 28 සහ 29 යන දිනවල ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථානය දක්වා දිවෙන මාර්ගයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

උත්සව සමයේ ප්‍රධාන මාර්ගවල පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා, රථවාහන පොලිස් නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලබන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.