මධ්‍යම අධිවේගි මාර්ගය ඉදි කිරීමේදී ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ පඩුකරඳ ගස ඉවත් නොකිරීමෙන් මධ්‍යම අධිවේගි මාර්ගය ඉදි කිරීමේදී ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ පඩුකරඳ ගස ඉවත් නොකිරීමෙන්
තම ඉදිකිරීම් ප්‍රමාදය නිසා වූ පාඩුව වෙනුවෙන් අදාළ චීන සමාගම රු මිලියන 980ක් වන්දියක් ලෙස ඉල්ලා ඇතැයි මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.එම්.ජේ.එන්. රත්නායක කීය.
මේ මාර්ගය ඉදි කිරීම ප්‍රමාද වූ නිසා චීන සමාගමට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල තවමත් ගණන් බලා නැති බව පැවසූ ව්‍යාපෘතියේ අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේ මේ වන විට එම වන්දි මුදල් ගණනය කරමින් තිබෙන බවයි.
පඬුකරඳ ගස නිසි වේලාවට ඉවත් කිරීමට නොහැකි වීමෙන් පමණක් මෙසේ රු. මිලියන 1000කට ආසන්න මුදලක් රටට අහිමි වූ බවත්, එමෙන්ම 2022 වසරේ අප්‍රේල් සිට 2025 සැප්තැම්බර් දක්වා කිසිදු ඉදි කිරීමක් නොවූ හෙයින් මෙරට ගබඩා කිහිපයක ගාල් කර හා ස්ථාපිත කර තිබූ චීන සමාගමේ යන්ත්‍ර සූත්‍ර වාහන ඇතුළු බොහෝ දේ යළි භාවිතයට සකස් කිරීමට ඔවුන්ට මාස 3ක පමණ කාලයක් ඉල්ලා සිටි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
පඬු කරඳ ගස පැවිදි කරයි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉවත් කිරීමට නියමිතව තිබු ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන කෲඩියා සෙලනිකා හෙවත් පඬුකරද ගස ආරක්ෂා කිරීමේ අරමුණින් මහා සංඝරත්නය 2021 පෙබරවාරි 10 එහි ගොස් සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා පැවිදි කර සාංඝික දේපළක් බවට පත්කළහ.
ජාතික භික්ෂු පෙරමුණ හා පුරාවස්තු සුරකීමේ සංවිධානයට සම්බන්ධ මහා සංඝයා වහන්සේලා පිරිසක් ගස පිහිටි ස්ථානයට එදින වැඩම කළ අතර එහිදී ආගමික වතාවත් සිද්ධ කළහ. අනතුරුව සංඝයා වහන්සේලා ගස වටා චීවරයක් පළඳා පිරිත් නූල් බැඳ පඬුකරඳ ගස සාංඝික දේපළක් බවට පත්කළහ.
මෙහිදී අනුශාසනාවක් කළ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික තංගල්ලේ නාරද හිමියෝ සඳහන් කළේ රටක පාලකයින් පත් කරගනු ලබන්නේ ජනතාව සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට වුවත්, වර්තමානයේ ආණ්ඩුවෙන් රටත් පරිසරයත් බේරා ගැනීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බවයි. මෙම ශාකයේ තවත් ගස් කිහිපයක් ඇති බවට රජය ප්‍රකාශ කරමින් ගස විනාශ කිරීමට උත්සාහ ගත්තත් ටේත් ලෝකයේත් බෝධි වෘක්ෂ ගණනාවක් තිබෙන සමයක ශ්‍රී මහා බෝධිය ඉවත් කිරීමට කිසිවෙකු සූදානම් නැති බව නාරද හිමියෝ මෙහිදී අවධාරණය කළහ.
මෙම ගස සාංඝික කර චීවරයක් පළන්දන ලද්දේ ආණ්ඩුවෙන් ගස ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් වශයෙන් බවද උන්වහන්සේ සඳහන් කළහ.
පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ මෙහිදී ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා කොන්ද කෙලින් තියාගෙන පොදු දේපල රැක ගැනීමට බිය නොවිය යුතු බව රාජ්‍ය සේවකයින්ට පවසා ඇති වුවත්, අද එසේ කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට පියවර නොගන්නා බවයි. අපට පමණක් නොව පරිසරය ආරක්ෂා කරගැනීමට වැදි නායකයාටත් ආණ්ඩුව සමඟ නඩු කියන්නට සිදුවීම කනගාටුවට කරුණක් බව ද සමිත හිමියෝ සඳහන් කළහ.ගස් කොළකොළන් පැළ කිරීමට වවුලන්ගෙන් විශාල සේවාවක් සිදු වුවත් අද ආණ්ඩුව වවුලන් කරන සේවාවවත් පරිසරය වෙනුවෙන් නොකරන බවට සමිත හිමියෝ මෙහි දී චෝදනා කළහ.
ජාතික භික්ෂු පෙරමුණේ සාමාජිකයින් වන හෝමාගම ආනන්ද, තලහගම ඥානසිරි, අත්තයාල විජිත යන හිමිවරුන් ද ගම්පහ දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමයේ හා මුතුරාජවෙල අභය භූමිය රැක ගැනීමේ සංවිධාන නියෝජිතවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.