03 අප්‍රේල්
05:12:21 පෙර වරු
මතවාද · · 1 min read

“ රාජ්‍යයට එරෙහි මත මර්ධනය නොව, 'දුස් තොරතුරු' පාලනයයි අපේ අරමුණ වුණේ " – ජනාධිපති කාර්යාලයේ දුස් තොරතුරු මැඩලීමේ ඒකකයේ නිර්මාතෘ සඳුන් අරෝෂ

“ රාජ්‍යයට එරෙහි මත මර්ධනය නොව, 'දුස් තොරතුරු' පාලනයයි අපේ අරමුණ වුණේ " – ජනාධිපති කාර්යාලයේ දුස් තොරතුරු මැඩලීමේ ඒකකයේ නිර්මාතෘ සඳුන් අරෝෂ
(ජනාධිපති කාර්යාලයේ දුස් තොරතුරු මැඩලීමේ ඒකකයේ නිර්මාතෘ සඳුන් අරෝෂ PodX නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්) (ජායාරූපය: PodX වැඩසටහන)

April 01 (Citizen.lk News) - ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ප්‍රථම වතාවට ජනාධිපති කාර්යාලය තුළ ස්ථාපිත කළ 'දුස් තොරතුරු මැඩලීමේ ඒකකයේ' (Counter-Disinformation Unit - CDU) සැබෑ අරමුණ සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව එහි නිර්මාතෘ සහ ප්‍රධානියා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සඳුන් අරෝෂ ප්‍රනාන්දු මහතා සුවිශේෂී අනාවරණයන් කිහිපයක් සිදුකර තිබේ.

PodX වැඩසටහන සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ, රජය විවේචනය කිරීම සහ සංවිධානාත්මකව අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම යනු පැහැදිලිවම කරුණු දෙකක් බවයි.

'රාජ්‍යයට එරෙහි තොරතුරු' යනු වැරදි ප්‍රපංචයක්

බොහෝ දෙනා මෙම ඒකකය රජයට එරෙහි මතවාද මර්දනය කරන ස්ථානයක් ලෙස හැඳින්වීමට උත්සාහ කළද, තමන් එය කිසිවිටෙකත් එලෙස නොදැක්ක බව ඔහු පවසයි. "මේක රාජ්‍යයට එරෙහි තොරතුරු කියන ප්‍රපංචයෙන් කියවා ගත යුතු නැහැ. අපේ අරමුණ වුණේ රාජ්‍යය සිදුකරන වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් චේතනාන්විතව පතුරුවන 'දුස් තොරතුරු' (Disinformation) හඳුනාගෙන ඒවා පාලනය කිරීමයි," ඔහු සඳහන් කරයි.

'දුස් තොරතුරු' (Disinformation) සහ 'වැරදි තොරතුරු' (Misinformation)

තොරතුරු වර්ගීකරණය පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍යවේදී සඳුන් අරෝෂ ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ, සමාජය තුළ ව්‍යාකූලත්වයක් ඇති කරන වචන දෙකකට තමන් නිවැරදි සිංහල අර්ථකථනයන් ලබා දුන් බවයි:

සත්‍ය තොරතුරු ජනගත කිරීමේ අභියෝගය (Proactive Information Disclosure)

රාජ්‍ය අංශයේ ඇති ප්‍රධානතම දුර්වලතාවය වන්නේ තොරතුරු සැඟවීම බව පවසන ඒ මහතා, ව්‍යාජ තොරතුරුවලට ඇති එකම පිළියම තොරතුරු ඉල්ලීමට පෙර රජය විසින්ම ඒවා ප්‍රසිද්ධ කිරීම (Proactive Information Disclosure) බව පෙන්වා දෙයි. සහල්වල විස ඇති බවට පැතිරුණු පුවත් වැනි අවස්ථාවලදී වහාම මැදිහත් වී සත්‍ය තොරතුරු මාධ්‍යයට නිකුත් කිරීම හරහා විශාල සමාජ කැළඹීම් වළක්වා ගැනීමට තම ඒකකය සමත් වූ බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

2029 මැතිවරණය සහ AI අනාගතය

සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වී ඇති 'ඉකෝ චේම්බර්' (Echo Chamber) හෙවත් මිනිසුන් තමන් කැමති දේ පමණක් ඇසීමට සහ දැකීමට හුරු වී ඇති තත්ත්වය පිළිබඳව ඔහු දීර්ඝ ලෙස විස්තර කළේය. විශේෂයෙන්ම 2029 මැතිවරණය වන විට ශ්‍රී ලංකාවේ මිලියන 3.5කට අධික නව ඡන්දදායකයින් (Gen Z) පිරිසක් එක්වන බවත්, ඔවුන් තොරතුරු සොයන්නේ Google හරහා නොව ChatGPT සහ Gemini වැනි කෘතිම බුද්ධි (AI) මෙවලම් හරහා බවත් ඔහු පවසයි. ඒ අනුව අනාගත දේශපාලනඥයින් තම 'AI Profile' එක නිවැරදිව සකසා ගැනීමේ (AI Engine Optimization) වැදගත්කම ඔහු අවධාරණය කළේය.

මාධ්‍යවේදී සඳුන් අරෝෂ ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය හෝ අනාගත රජයන් ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමට සහ විනිවිදභාවය තහවුරු කිරීමට මෙවැනි ඒකකයක සේවය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවයි.

'ධම්මික පැණිය' සහ 'ඉකෝ චේම්බර්' (Echo Chamber) උගුල

(ජනාධිපති කාර්යාලයේ දුස් තොරතුරු මැඩලීමේ ඒකකයේ නිර්මාතෘ සඳුන් අරෝෂ PodX නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්) (ජායාරූපය: PodX වැඩසටහන)

මෙම සාකච්ඡාවේදී මාධ්‍යවේදී සඳුන් අරෝෂ ප්‍රනාන්දු මහතා විසින් තමන් සිදුකළ සුවිශේෂී පර්යේෂණ පත්‍රිකාවක දත්ත ඉදිරිපත් කරමින්, සමාජ මාධ්‍ය හරහා මහජන මතය හැසිරවෙන ආකාරය විග්‍රහ කළේය. කොවිඩ් කාලසීමාවේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් 'ධම්මික පැණිය' තොරතුරු අවකාශයේ සමාජ මාධ්‍ය පරිශිලකයින් සංවාද කල ආකාරය (Engagement)  විශ්ලේෂණය කරමින් ඔහු පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඇල්ගොරිතම (Algorithms) මගින් මිනිසුන්ව 'ඉකෝ චේම්බර්' (Echo Chamber) හෙවත් තමන් කැමති දේ පමණක් ඇසෙනා සිරකුටියක සිර කරන බවයි.

පර්යේෂණයේ ප්‍රධාන සොයාගැනීම්:

"ඔබ සමාජ මාධ්‍යයෙන් පමණක් තොරතුරු ගන්නවා නම්, ඔබ ඉන්නේ ඔබ කැමති දේ පමණක් ඇසෙනා රික්තකයකයි. ඔබේ මතයට විරුද්ධ සත්‍ය තොරතුරක් වුවද ඔබට පෙනෙන්නට ඇල්ගොරිතම ඉඩ දෙන්නේ නැහැ. සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නම් විවිධ මූලාශ්‍ර පරිශීලනය කිරීම අනිවාර්යයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සඳුන් අරෝෂ ප්‍රනාන්දු මේ වන විට Citizen මාධ්‍ය ජාලයේ ප්‍රධානී ලෙස කටයුතු කරයි.

සම්පුර්ණ සංවාදය පහතින් නැරඹිමට හෝ කියවීමට හැකි ය.

https://youtu.be/EGRl0ECO2HU 

PodX 10 වන කථාංගය: සම්පූර්ණ අන්තර්ගතය 

[00:00:00] නිවේදක: අද අපේ සාකච්ඡාවට එකතු වෙන්නේ ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරන මාධ්‍ය වෘත්තිකයෙක් වන සඳුන් අරෝෂ ප්‍රනාන්දු. කොහොමද සඳුන්? සාදරයෙන් පිළිගන්නවා.

[00:00:14] නිවේදක: ඔබ පසුගිය කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ වෙලා හිටියා. විශේෂයෙන්ම එහි 'දුස් තොරතුරු මැඩලීමේ ඒකකයේ' (Counter-Disinformation Unit) නිර්මාතෘවරයා ඔබයි.

[00:00:27] නිවේදක: ලංකාවේ රාජ්‍ය අංශයේ මීට පෙර මෙවැනි ඒකකයක් තිබී නැහැ. මෙහි ප්‍රධානියා සහ නිර්මාතෘ විදිහට, රජයට එරෙහිව යන ව්‍යාජ තොරතුරු පාලනය කිරීම සහ සත්‍ය තොරතුරු සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය සිදුවුණේ කොහොමද?

[00:00:54] සඳුන් අරෝෂ: ඔබගේ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් මම 'තොරතුරු' කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නම්. මෙහිදී "Misinformation" සහ "Disinformation" කියලා වචන දෙකක් තියෙනවා. සිංහලෙන් මෙයට නිවැරදි වචන නොතිබුණු නිසා මම වචන දෙකක් හඳුන්වා දුන්නා.

[00:01:09] සඳුන් අරෝෂ: "Disinformation" කියන්නේ "දුස් තොරතුර". ඒක හරිම දූෂිතයි. චේතනාන්විතවම වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමයි මෙයින් අදහස් කරන්නේ.

[00:01:18] සඳුන් අරෝෂ: "Misinformation" කියන්නේ කෙනෙක් නොදැනුවත්කම හෝ අතපසුවීම නිසා පතුරවන වැරදි තොරතුරු. ඒ සඳහා මම "වැරදි තොරතුර" කියන වචනය පාවිච්චි කරනවා.

[00:01:32] සඳුන් අරෝෂ: දැන් ඔබ ඇසූ ඒකකය ගැන කතා කළොත්, ඔබ කිව්වා "රාජ්‍යයට එරෙහි තොරතුරු" කියලා. මම ඒක දකින්නේ රාජ්‍යයට එරෙහි තොරතුරු විදිහට නෙමෙයි.

[00:02:06] සඳුන් අරෝෂ: රාජ්‍යය සිදුකරන වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් පැතිරෙන 'දුස් තොරතුරු' මැඩපැවැත්වීමයි අපේ අරමුණ වුණේ. මම ඒ තනතුර බාරගද්දී මම පැහැදිලිවම කිව්වා රාජ්‍යයට 'කරුණු පරීක්ෂා කරන්නෙක්' (Fact-checker) වෙන්න බැහැ කියලා.

[00:02:34] සඳුන් අරෝෂ: මොකද කරුණු පරීක්ෂා කිරීමේදී ඔබට පැත්තක් ගන්න බැහැ. රාජ්‍යය කරුණු පරීක්ෂා කරන්න ගියොත් ඒක තමන්ගේ පැත්තට බර වෙනවා. රාජ්‍යයට පුළුවන් වෙන්නේ මේ දුස් තොරතුරු නිර්මාණය වීම අවම කරන්න විතරයි.

[00:03:10] නිවේදක: මෙය ඉතා සංකීර්ණ කාර්යයක්. සත්‍ය තොරතුරු ජනගත කරන ගමන් අසත්‍යයට ප්‍රතිචාර දැක්වීම මෙහිදී සිදුවෙනවා. මෙහි තිබුණු අභියෝග මොනවාද?

[00:03:38] සඳුන් අරෝෂ: ඔබ නිවැරදිව හඳුනාගත්තා සත්‍ය තොරතුරු ජනගත කිරීම සහ අසත්‍යයට ප්‍රතිචාර දැක්වීම කියන කාරණා දෙක. සත්‍ය තොරතුරු ජනගත කිරීම හඳුන්වන්නේ "Positive Disclosure" කියලා. අපි මේ ඒකකය පටන් ගද්දී ආචාර්ය රංග කලන්සූරිය වැනි ප්‍රාමාණික විද්වතුන් කැඳවලා උපදෙස් ගත්තා.

[00:04:18] සඳුන් අරෝෂ: යම් සිදුවීමක් ගැන අසත්‍ය තොරතුරු පැතිරෙන්න කලින් අපි සත්‍ය තොරතුරු ජනගත කළොත් අසත්‍යයට ඉඩක් නැති වෙනවා. නමුත් ලංකාවේ රාජ්‍ය අංශය තවමත් සූදානම් නැහැ ජනතාව ඉල්ලන්න කලින් තොරතුරු ලබා දෙන්න. ඔවුන් තවමත් ඉන්නේ "Reactive" (ප්‍රතිචාරාත්මක) මට්ටමක මිස "Proactive" (පූර්ව ක්‍රියාකාරී) මට්ටමක නෙමෙයි.

[00:05:45] සඳුන් අරෝෂ: අපි ඉතා සීමිත සම්පත් යටතේ ප්‍රබල මාධ්‍ය නිරීක්ෂණයක් (Media Monitoring) කළා. ආර්ථික අර්බුදය නිසා අලුතින් බඳවා ගැනීම් කරන්න බැරි වුණත් ඉන්න රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි වැඩ ගත්තා.

[00:06:57] සඳුන් අරෝෂ: උදේ පාන්දරම යම් වැරදි තොරතුරක් ප්‍රචාරය වෙනවා දැක්කම අපි මාධ්‍ය ආයතන දැනුවත් කරනවා. "අපි හිතනවා මේක වැරදියි කියලා, කරුණාකරලා අපි සත්‍ය තොරතුරු දෙනකන් පොඩ්ඩක් ඉවසන්න" කියලා. මොකද වෙබ් සහ සමාජ මාධ්‍ය බොහෝ විට කරන්නේ "Copy-Paste". ඒ නිසා වැරදි තොරතුරු වෛරල් වීම නවත්වන්න අපි ඒ මැදිහත්වීම කළා.

[00:07:53] සඳුන් අරෝෂ: මේක ඉතා සාර්ථක වුණා. එක අවස්ථාවක ප්‍රධාන පුවත්පතක පළවුණා ආනයනය කළ සහල්වල විෂ තියෙනවා කියලා. ඒ කාලේ තිබුණු ආහාර හිඟයත් එක්ක මේක ලොකු කැළඹීමක් ඇති කරන්න තිබුණා. අපි වහාම අදාළ ආයතන සම්බන්ධ කරගෙන පරීක්ෂා කළා. එහිදී හෙළිවුණේ සහල් තොගයක කොටසක් නරක් වී තිබූ නිසා එය ඉවත් කර ඇති බවත්, ඉතිරි සහල් හොඳ මට්ටමේ පවතින බවත්. අපි ඒ තොරතුරු ලබා දුන්නාම මාධ්‍ය ආයතන එය නිවැරදි කළා.

[00:09:26] සඳුන් අරෝෂ: අපි ජනතාවගේ ගැටලු ගැනත් අවධානය යොමු කළා. බොහෝ විට මාධ්‍ය වාර්තා කරන්නේ එක් පාර්ශ්වයක තොරතුරු පමණයි. උදාහරණයක් විදිහට ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ටොන් ගණනින් අපතේ යන බවට පුවතක් පළවුණා. අපි ඒ ගැන හෙව්වාම පෙනී ගියේ එහි සඳහන් සංඛ්‍යාලේඛන වැරදි බවයි. රෝහල් අධ්‍යක්ෂවරයා ඒ වන විටත් විසඳුම් ගනිමින් හිටියේ.

[00:11:36] සඳුන් අරෝෂ: යම් ගැටලුවක් සත්‍ය නම් අපි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ ආයතනයට ලිපියක් යවනවා. ජනාධිපති කාර්යාලයෙන් ලිපියක් යනවා කියන්නේ ඔවුන් වහාම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා නොවිසඳුණු ජනතා ගැටලු රැසකට විසඳුම් ලැබුණා. අවාසනාවකට දැන් ඒ යන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

[00:13:08] සඳුන් අරෝෂ: IMF සහ ලෝක බැංකු වැඩපිළිවෙළවල් ගැනත් ලොකු දුස් තොරතුරු ප්‍රමාණයක් තිබුණා. ලෝක බැංකුව පවා අපෙන් ඉල්ලීමක් කළා ජනතාවට මේ ගැන නිවැරදි වැටහීමක් ලබා දෙන්න කියලා. අපි ඉන්නේ "Post-truth" (පශ්චාත්-සත්‍ය) අවධියක.

[00:13:41] සඳුන් අරෝෂ: පශ්චාත්-සත්‍ය අවධියේදී කරුණු තිබුණත්, මිනිස්සු තමන්ගේ පෞද්ගලික විශ්වාස සහ හැඟීම් මත තමයි 'සත්‍යය' තීරණය කරන්නේ. එදා IMF එක කියන්නේ 'බිල්ලෙක්' වගේ මතයක් තිබුණේ. අපි සමාජ මාධ්‍ය හරහා එහි ඇති වාසි ගැන සත්‍ය තොරතුරු ජනගත කළා. අද ඒ ප්‍රතිලාභ ලැබෙද්දී මිනිස්සුන්ට ඒක තේරෙනවා.

[00:15:28] සඳුන් අරෝෂ: ජාත්‍යන්තර මාධ්‍ය (BBC, CNN) සහ ලංකාවේ මාධ්‍ය අතර ලොකුම වෙනස 'මුදල්'. BBC වැනි ආයතන ලාභය අරමුණු කරගන්නේ නැහැ. Sky හෝ CNN වැනි ආයතනවලට ලාභය උපයන්න වෙනත් ව්‍යාපාර තියෙනවා. නමුත් ලංකාවේ පුවත් කලාව පවතින්නේම 'රේටින්' සහ 'ලාභය' මතයි.

[00:16:58] සඳුන් අරෝෂ: මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේදී රජය අවම අධ්‍යාපන නිර්ණායකයක් දැමිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අඩුම තරමේ සතියක පාඨමාලාවක් හෝ කර තිබිය යුතුයි.

[00:17:44] සඳුන් අරෝෂ: අද ලංකාවේ මාධ්‍යවේදීන් දහ දෙනෙක්ගෙන් ඇහුවොත් '5W1H' (කවුද, මොකක්ද, කොහේද, කවදාද, ඇයි, කොහොමද) කියන්නේ මොකක්ද කියලා, පස් දෙනෙක්වත් ඒක දන්නේ නැහැ. ඔවුන් ඒ ප්‍රමිතිය අනුගමනය කරන්නේ නැහැ. 5W1H අනුගමනය කරනවා නම් මාධ්‍ය ආචාරධර්ම බොහෝ දුරට රැකෙනවා.

[00:18:58] සඳුන් අරෝෂ: පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය කළ ගවේෂණාත්මක වැඩසටහන්වලට මම දායක වුණා. ඔවුන් ඒ සඳහා විශාල පිරිවැයක් දරනවා. ලෝකයේ අංක එකේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ලංකාවට එවලා තිබුණා. ඔවුන් ලංකාවේ බුද්ධි අංශ සතුව පවා නොතිබුණු සමහර සාක්ෂි සොයාගෙන තිබුණා.

[00:20:42] සඳුන් අරෝෂ: එහිදී මගේ කාර්යභාරය වුණේ 'Fixer' කෙනෙක් හෝ ක්ෂේත්‍ර නිෂ්පාදකවරයෙක් (Field Producer) ලෙස කටයුතු කිරීමයි. ජාත්‍යන්තර කණ්ඩායම්වලට ලංකාවේ ස්ථාන, භාෂාව සහ සන්දර්භය තේරුම් ගන්න මම උදව් කළා.

[00:22:49] සඳුන් අරෝෂ: අපි භාෂා ආයතනය (Dhanika) එක්ක එකතු වෙලා 'Esana' සේවාව ආරම්භ කළා. ඒ හරහා කෙටි පුවත් ලබා දුන්නා. පසුව 'Citizen Fact Check' ආයතනය ආරම්භ කළා.

[00:23:53] සඳුන් අරෝෂ: කෙටි පුවත් සේවාව සහ කරුණු පරීක්ෂා කිරීම කියන්නේ වර්ටිකල් දෙකක්. Esana හිදී අපි 5W1H අනුගමනය කරමින් වේගවත් පුවත් දුන්නා. Citizen Fact Check හිදී අපි පුවත් පරීක්ෂා කළේ නැහැ; අපි කළේ සමාජ මාධ්‍ය තුළ වෛරල් වන, මහජන මතයට බලපෑම් කරන තොරතුරු පරීක්ෂා කිරීමයි.

[00:27:16] සඳුන් අරෝෂ: කරුණු පරීක්ෂා කිරීමට කාලය යනවා. ඒ කාලය ඇතුළත බොරුව පැතිරෙනවා. ඒ නිසා මම 'ට්‍රැෆික් ලයිට්' ක්‍රමය හඳුන්වා දුන්නා. තොරතුරක් ලැබුණු වහාම අපි 'ඇම්බර්' (කහ/තැඹිලි) කාඩ් එකක් දානවා "මේක තවම තහවුරු නැහැ, කරුණාකරලා ශෙයාර් කරන්න එපා" කියලා. ඒකෙන් මිනිස්සුන්ට නැවතී සිතන්න අවස්ථාවක් ලැබෙනවා.

[00:29:32] සඳුන් අරෝෂ: සමහර කරුණු පරීක්ෂා කිරීමේ ආයතන මුදලට කැම්පේන් කරන බවට චෝදනා තියෙනවා. මම හිතන්නේ ඒක ආයතනික ප්‍රශ්නයකට වඩා එහි වැඩ කරන පුද්ගලික මට්ටමේ ප්‍රශ්නයක්. මේක මුළු ක්ෂේත්‍රයේම විශ්වාසනීයත්වයට ලොකු හානියක්.

[00:34:49] සඳුන් අරෝෂ: 2019 මැතිවරණ කාලයේදී අපි 'සත්ව්‍ය' (Truth Square) කියලා එකතුවක් හැදුවා. එහිදී අපි රූපවාහිනී නාලිකා 11ක් නිරීක්ෂණය කළා. මැතිවරණ ප්‍රචාරණය සහ දුස් තොරතුරු අතර තියෙන සම්බන්ධය අපි එහිදී හඳුනාගත්තා.

[00:37:18] සඳුන් අරෝෂ: කොවිඩ් කාලයේ පැතිරුණු ඉස්ලාම් භීතිකාව සහ 'ධම්මික පැණිය' ගැන මම පර්යේෂණයක් කළා. ධම්මික පැණියට විරුද්ධ අය දිගටම විරුද්ධ වුණා, පක්ෂ අය දිගටම පක්ෂ වුණා. මේකට කියන්නේ 'Echo Chamber Effect' කියලා.

[00:38:22] සඳුන් අරෝෂ: ඇල්ගොරිතම මගින් ඔබට පෙන්වන්නේ ඔබ කැමති දේ විතරයි. ඔබ පැණියට විරුද්ධ නම් ඔබට දිගටම පෙනෙන්නේ විරුද්ධ පෝස්ට් විතරයි. ඒ නිසා ඔබට ඔබේ මතය වෙනස් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකයි සමාජ මාධ්‍යයෙන් විතරක් තොරතුරු ගන්න එපා කියන්නේ.

[00:41:30] සඳුන් අරෝෂ: රජයකට හෝ සන්නාමයකට (Brand) මහජන මතය තේරුම් ගන්න නම් 'Social Listening' කළ යුතුයි. දැන් ඒ සඳහා මිල අඩු මෙවලම් තියෙනවා. නායකයෙක් තමන් ජනප්‍රියයි කියලා හිතාගෙන හිටියට, සමාජ නිරීක්ෂණ මෙවලමකින් බැලුවොත් ඇත්තම තත්ත්වය බලාගන්න පුළුවන්.

[00:43:02] සඳුන් අරෝෂ: මතයක් වෙනස් කරන්න නම් 'Echo Chamber' එක හැක් (Hack) කරන්න ඕනේ. කෙනෙක් එක පක්ෂයකට පක්ෂපාතී නම්, ඔහුට වෙනත් පැත්තක තොරතුරු පෙන්වීමට තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා.

[00:46:28] නිවේදක: 2029 වෙද්දී ලක්ෂ 35ක විතර අලුත් ඡන්දදායකයින් (Gen Z) එකතු වෙනවා. ඔවුන් සම්ප්‍රදායික දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්නේ. මොකද වෙන්නේ?

[00:48:14] සඳුන් අරෝෂ: සමාජ මාධ්‍ය ප්‍රබල වුණත් ලංකාවේ තවමත් 'න්‍යාය පත්‍රය' (Agenda) සෙට් කරන්නේ රූපවාහිනිය. උදේ යන පත්තර වැඩසටහන්වලින් දෙන මාතෘකා තමයි සමාජ මාධ්‍ය උස්සගෙන යන්නේ.

[00:52:16] නිවේදක: අනාගත ඡන්දදායකයා තමන් ඡන්දය දිය යුත්තේ කාටද කියලා අහන්නේ AI (ChatGPT/Gemini) එකෙන්. ඔවුන් ගූගල් සර්ච් කරන්නේ නැහැ. මේකට දේශපාලනඥයින් සූදානම්ද?

[00:53:05] සඳුන් අරෝෂ: අපේ ආයතනයෙන් ඒ සඳහා සේවාවක් ලබා දෙනවා. අපි ඒකට කියන්නේ 'AI Engine Optimization' කියලා. අපි බලනවා ChatGPT හෝ Gemini එකෙන් කෙනෙක් ගැන ඇහුවම දෙන උත්තරේ මොකක්ද කියලා. ඒක වැරදි නම්, AI එකට නිවැරදි තොරතුරු ලබා දීමට තාක්ෂණික ක්‍රම තියෙනවා.

[00:54:11] සඳුන් අරෝෂ: 2029 වෙද්දී හැම අපේක්ෂකයෙකුටම 'AI Profile' එකක් තියෙන්නම ඕනේ. පෝස්ටර් ගහන්නේ නැතුව වුණත් AI Profile එක නිවැරදි නම් මැතිවරණ දිනන්න පුළුවන් තත්ත්වයක් එනවා.

[00:55:07] සඳුන් අරෝෂ: ස්තූතියි විමුක්ති මට ආරාධනා කළාට.