අතීත උරුමය සුරකිමින් සොබාදහම, ත්රාසජනක අත්දැකීම් සහ නවීන ආගන්තුක සත්කාරක සේවා සමඟ නව ගමනකට
October 24 (Citizen News) - ශ්රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්රයේ සුවිශේෂ ස්ථානයක් හිමි ඓතිහාසික කිතුල්ගල තානායම නවීකරණය කිරීමෙන් අනතුරුව EKHO Kithulgala නමින් නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබේ. මෙය EKHO Hotels & Resorts හෝටල් සමූහයට එක් වන හත් වැනි හෝටලයයි. අතීතයේ සිට පැවත එන සුවිශේෂ අනන්යතාව සහ සුන්දර මතක සුරකිමින්, නවීන සංචාරකයන්ගේ අවශ්යතාවලට ගැළැපෙන නවාතැන් පහසුකම් සහ වැඩි දියුණු කළ සේවා පිරිනැමීම මෙම නවීකරණයේ ප්රධාන අරමුණයි. පරම්පරා ගණනාවක් පුරා ශ්රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආදරයට පාත්ර වූ කිතුල්ගල තානායම සොබාදහමේ සුන්දරත්වය විඳ ගැනීමටත්, කැලණි ගඟ අසබඩ නිස්කලංක පරිසරයක විවේකීව කාලය ගත කිරීමටත් කදිම ස්ථානයක් ලෙස ප්රකටය. සංචාරක ගමන් අතරතුර විවේක ගැනීමට මෙන්ම අවට වනගත පරිසරය ගවේෂණය කිරීමට පැමිණි බොහෝ දෙනකුගේ මතක සමඟ බැඳී පවතින මෙම තානායමේ අතීත උරුමය නව EKHO Kithulgala අත්දැකීම තුළද නොවෙනස්ව පවත්වා ගැනීමට පියවර ගෙන තිබේ. නවීකරණය කළ හෝටලය උද්යානයට මුහුණලා පිහිටි Garden View සහ ගංගාවට මුහුණලා පිහිටි River View යන කාණ්ඩ දෙකෙන් සමන්විත සුව පහසු අමුත්තන්ගේ කාමර 20කින් සමන්විතය. මීට අමතරව පොදු පරිශ්රද වැඩි දියුණු කර ඇති අතර නවීන පහසුකම් එක් කිරීමේදී තානායමේ ඓතිහාසික අනන්යතාව සහ සාම්ප්රදායික ආකර්ෂණය ආරක්ෂා කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබේ.

කැලණි ගං ඉවුරේ පිහිටි EKHO Kithulgala නිවර්තන වැසි වනාන්තරවලින් සහ පොහොසත් ජෛව විවිධත්වයකින් වට වූ මනරම් පරිසරයක පිහිටා තිබේ. දශක ගණනාවක් පුරා පක්ෂි නිරීක්ෂකයන්ගේ, ස්වභාව විද්යාඥයන්ගේ සහ වන ජීවී ලෝලීන්ගේ ප්රියතම නවාතැනක් වූ මෙම ස්ථානය සොබාදහම ගවේෂණය කිරීමට කැමැති සංචාරකයන්ට සුවිශේෂ අත්දැකීම් රැසක් සපයයි. ශ්රී ලංකාවට ආවේණික සහ මෙරට නේවාසික පක්ෂි විශේෂ රැසකගේ වාස භූමියක් වන මාකන්දාව රක්ෂිතයට පහසුවෙන් ළඟා විය හැකි වීම හෝටලයේ තවත් විශේෂත්වයකි. අලුයම පක්ෂි නිරීක්ෂණ චාරිකා, මඟ පෙන්වන්නන්ගේ සහාය ඇතිව සිදු කරන සොබාදහම් චාරිකා සහ වන ජීවී ගවේෂණ ඇතුළු අත්දැකීම් රැසක් සඳහා මෙය කදිම ආරම්භක ස්ථානයකි. පක්ෂි නිරීක්ෂණයට අමතරව කිතුල්ගල ශ්රී ලංකාවේ ප්රමුඛතම White Water Rafting ගමනාන්තයක් ලෙසද ප්රසිද්ධය. මෙම චාරිකාව අවසන් වන ස්ථානය හෝටල් පරිශ්රය ආසන්නයේම පිහිටා තිබීම EKHO Kithulgala සතු සුවිශේෂ වාසියකි. එමඟින් ත්රාසජනක ගංගා චාරිකාවකින් අනතුරුව සෘජුවම සිය නවාතැන වෙත පැමිණීමේ පහසුව සංචාරකයන්ට හිමි වේ. කිතුල්ගල ප්රදේශය ජාත්යන්තර සිනමා ඉතිහාසය සමඟද සමීප සබඳතාවක් පවත්වයි. ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූ සුප්රකට The Bridge on the River Kwai චිත්රපටයේ රූගත කිරීම් 1950 දශකයේදී මෙම ප්රදේශයේ සිදු කර තිබීම එහි ඓතිහාසික හා සංචාරක ආකර්ෂණය තව දුරටත් ඉහළ නංවයි. EKHO Kithulgala හෝටලය නව මුහුණුවරකින් විවෘත කිරීම සිදු වන්නේ ඓතිහාසික බෙලිහුල්ඔය තානායම EKHO Belihuloya ලෙස නවීකරණය කිරීමෙන් අනතුරුවය. මෙම හෝටල් දෙකම ශ්රී ලංකාවේ සොබාදහම සහ ත්රාසජනක සංචාරක ක්ෂේත්රය තුළ EKHO සන්නාමයේ පැවැත්ම තව දුරටත් ශක්තිමත් කිරීමට දායක වේ. මෙරට ඓතිහාසික තානායම්වල අනන්යතාව සහ උරුමය ආරක්ෂා කරමින් නවීන සංචාරක පහසුකම් සහ එක් එක් ගමනාන්තයට ආවේණික අත්දැකීම් සමඟ ඒවා යළි පණ ගැන්වීමේ පුළුල් දැක්ම මෙම ව්යාපෘති තුළින් පිළිබිඹු වේ. EKHO Kithulgala යනු හුදෙක් නාමය වෙනස් කළ හෝටලයක් නොව පරම්පරා ගණනාවක සුන්දර මතකවලට නව ජීවයක් දෙන සුවිශේෂ ගමනාන්තයකි. අතීත උරුමය, සොබාදහමේ චමත්කාරය, ත්රාසජනක අත්දැකීම් සහ නවීන ආගන්තුක සත්කාර එකට එක් කරන මෙම හෝටලය ඓතිහාසික කිතුල්ගල තානායමේ අභිමානය නව පරපුර වෙත රැගෙන යයි.