March 04 (Citizen.lk News) - ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරමින් සහ ඉන්ධන ගබඩා පද්ධතිය නවීකරණය කරමින් රුපියල් බිලියන 30කට අධික පිරිවැයක් සහිත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හතක් රජය විසින් ආරම්භ කර ඇත.
කොළොන්නාවට නව තෙල් ටැංකි 08ක්
කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ මෙට්‍රික් ටොන් 86,000ක ධාරිතාවයකින් යුත් නව ටැංකි 08ක් රුපියල් බිලියන 05ක වියදමින් ඉදිකෙරේ.
මුතුරාජවෙල නව ගබඩා සංකීර්ණය
මුතුරාජවෙල ප්‍රදේශයේ මෙට්‍රික් ටොන් 44,000ක ධාරිතාවකින් යුත් නව ගබඩා සංකීර්ණයක් රුපියල් බිලියන 3.5ක ආයෝජනයෙන් ඉදිකිරීමට නියමිත අතර එහි ටෙන්ඩර් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා.
මුතුරාජවෙල සිට කටුනායක දක්වා නව නල මාර්ගයක්
කටුනායක ගුවන් තොටුපළ වෙත බාධාවකින් තොරව ඉන්ධන සැපයීම සඳහා මුතුරාජවෙල සිට නව නල මාර්ගයක් සහ මෙට්‍රික් ටොන් 63,000ක ගබඩා සංකීර්ණයක් ඉදි කෙරේ. රුපියල් බිලියන 16ක ඇස්තමේන්තු ගත පිරිවැයක් සහිත මෙම ව්‍යාපෘතිය මගින් වර්තමාන ඉල්ලුමට අනුව, දින 40 කට වඩා වැඩි කාලයකට අවශ්‍ය ගුවන්යානා ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මෙමගින් රට තුළ දින 40කට අධික කාලයකට අවශ්‍ය ගුවන්යානා ඉන්ධන (Jet A-1) තොග රඳවා තබා ගැනීමේ හැකියාව හිමි වනු ඇති.
ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය ප්‍රතිසංස්කරණය
ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයේ පළමු අදියර යටතේ තෝරාගත් ටැංකි 04ක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර, ඉන් ටැංකි 02ක වැඩ කටයුතු මේ වන විට අවසන්ව ඇත. මුහුදේ සිට ගොඩබිමට ඉන්ධන ප්‍රවාහනය සඳහා රුපියල් බිලියන 7.37ක පිරිවැයකින් නව නල පද්ධතියක් ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා ඇත. මෙම ප්‍රතිසංස්කරණය සම්පූර්ණ වීමෙන් පසු මෙට්‍රික් ටොන් 40,000 ක අතිරේක ගබඩා ධාරිතාවක් පද්ධතියට එක්වෙනු ඇත.
ගැන්ට්‍රි පද්ධතිය ස්වයංක්‍රීය කිරීම
සමස්ත ගැන්ට්‍රි පද්ධතිය (Gantry System) ස්වයංක්‍රීය කිරීම හරහා නෞකා ප්‍රමාද ගාස්තු අවම කර ගනිමින්, තෙල් ගොඩබෑමට ගතවන දින 05ක කාලය දින 02 දක්වා අඩු කිරීමට රජය අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය රුපියල් බිලියන 1.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සමන්විත වෙයි.
කොළොන්නාව සිට වරාය දක්වා නව තෙල් නල මාර්ගය
කොළොන්නාව සිට වරාය දක්වා දැනට පවතින, වසර 90කට වඩා පැරණි පද්ධතිය නිතර තෙල් කාන්දුවීම්වලට ලක්වීම හේතුවෙන් ඒ වෙනුවට අඟල් 14 සහ අඟල් 18 ප්‍රමාණයේ නව නල මාර්ග දෙකක් එළීමට රජය තීරණය කර ඇත. රුපියල් බිලියන 12.8ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඉදිරියේදී ටෙන්ඩර් කැඳවීමට නියමිතය.
කොළොන්නාව සිට කැලණිතිස්ස දක්වා නව නැප්තා (Naphtha) නල මාර්ගය
කොළොන්නාව සිට කැලණිතිස්ස දක්වා ඉන්ධන සැපයෙන පැරණි නල පද්ධතිය වෙනුවට රුපියල් බිලියන 1.5ක ආයෝජනයෙන් නව නැප්තා (Naphtha) නල මාර්ගයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතිය හරහා අනතුරු වළක්වා ගනිමින් වඩාත් කාර්යක්ෂම ඉන්ධන සැපයුමක් සහතික කෙරෙන අතර, මේ සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා එහි අවසන් අදියරේ පවතින බවයි සඳහන් වන්නේ.
මුලාශ්‍රය: රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව