දුප්පත් මෙක්සිකෝව. දෙවියන්ගෙන් බොහෝ දුරස්ය, එක්සත් ජනපදයට ඉතා සමීපය - මෙක්සිකෝවේ පාලක පෝර්ෆිරියෝ ඩයස් (1876-1911)
වෙළෙඳ ගිවිසුම් කෙරෙහි මගේ උනන්දුව ඇති වූයේ 1982-1985 කාලයේ දී කැනඩාවේ මගේ ආචාර්ය උපාධිය සඳහා වැඩ කරමින් සිටිය දී ය. 1970 ගණන්වල ශ්‍රී ලංකාව මෙන්ම මුළු තුන්වන ලෝකයම වෙලාගත් ආරක්ෂණවාදී/රාජ්‍ය කේන්ද්‍රීය කතිකාව තුළ ගිලී සිටි මට, වඩාත් බලවත් හා බෙහෙවින් විශාල එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමකට ඇතුළු වීමට යත්න දරමින් සිටි කැනේඩියානු රජයේ ක්‍රියා කලාපය තේරුම් ගැනීමට අමාරු විය.
1987 දී අත්සන් කරන ලද කැනඩා-ඇමරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම (CUFTA) සේවා වෙළෙඳාම ආවරණය කළ පළමු ගිවිසුම විය. විශ්ව විද්‍යාල තුල මුල් බැස ගෙන් තිබු සංස්කෘතික ආරක්ෂණවාදය සැලකිල්ලට ගත් විට, සේවා වෙළෙඳ ගිවිසුමකට ඇතුළත් කිරීම ගැනද මම පුදුමයට පත් වීමි. සේවා වෙළෙඳාම පිළිබඳ මගේ පළමු ශාස්ත්‍රීය ලිපියක (1993) මම මෙසේ ප්‍රකාශ කළෙමි: “සේවාවල නිදහස් වෙළෙඳාම අධ්‍යයනය කිරීම සඳහා ඇති එකම 'පරීක්ෂණාගාරය' කැනඩා-ඇමරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම යි... නිදහස් වෙළෙඳ විධිවිධාන සහ ශ්‍රම අපනයන ඇතුළු විවිධ ආකාරයේ ඒකාබද්ධ ක්‍රියාවලීන් හැඩගැස්වීමට උත්සාහ කරන වෙනත් රටවලට ද එමගින් ජනනය වන දැනුම ප්‍රයෝජනවත් වනු ඇත.”

CUFTA, NAFTA බවට පත් වූ අතර, පසුව එය නැවත සාකච්ඡා කර ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ USMCA ලෙස නම් කරන ලදී. මෙය 2025 දී ජනාධිපති ට්‍රම්ප් විසින් කැනඩාව සහ මෙක්සිකෝව මත එල්ල කරන ලද පීඩනයේ බලය මොට කිරීමට උපකාරී විය. ඔහු දැවැන්ත තීරුබදු නිවේදනය කළ නමුත් ගිවිසුමෙන් ආවරණය කරන ලද භාණ්ඩ සහ සේවා වලට ට ඒවා අදාළ නොවන බව දැන ගත්තේය. මෙය බලවත් හවුල්කරු විසින් කුඩා හවුල්කරුවන්ට (කැනඩාවට සහ මෙක්සිකෝවට) හිරිහැර කිරීමෙන් ආරක්ෂා කිරීම යන වෙළෙඳ ගිවිසුම් සඳහා වන කේන්ද්‍රීය සාධාරණීකරණය තහවුරු කිරීමක් විය:
USMCA ගිවිසුම 2026 ජූලි මාසයේ දී සමාලෝචනය කිරීමට නියමිත ය. කැනඩාවට සහ මෙක්සිකෝවට හානිකර විධිවිධාන ඇතුළත් කිරීමට ට්‍රම්ප් උත්සාහ කිරීමට ඉඩ ඇත. කැනඩාව සහ මෙක්සිකෝව එය පසුබස්වා අන්‍යෝන්‍ය වශයෙන් සතුටුදායක ගිවිසුමකට එළඹෙනු ඇත්ද? නැතහොත් ඔවුන් ඉවත්ව යනු ඇත්ද? දෙවැන්න සිදුවන්නේ නම්, ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් නොමැතිව ට්‍රම්ප්ගේ අස්ථාවරත්වයට යටත්වීමට සිදුවනු ඇත. මේ දිනවල කැනේඩියානු අගමැති කාර්නිගේ මනසෙහි තිබිය යුතු ගැටළු මේවා ය.
බලකොටුව හෝ වෙළෙඳ විවිධාංගීකරණය
කාර්නිගේ චින්තනය පිළිබඳ ඉඟි ඩාවෝස් හි ඔහුගේ ප්‍රශංසනීය කතාවෙන්:
* බොහෝ රටවල් පොදු නිගමනවලට එළඹෙමින් සිටියි - එනම්, බලශක්තිය, ආහාර, තීරණාත්මක ඛනිජ ලවණ, මූල්‍ය හා සැපයුම් දාමවල උපායමාර්ගික ස්වාධීනත්වයක් වර්ධනය කළ යුතු බවය.
මේ ආවේගය තේරුම් ගත හැකි ය. තමන්ව ම පෝෂණය කර ගැනීමට, ඉන්ධන ලබා ගැනීමට හෝ ආරක්ෂා කර ගැනීමට නොහැකි රටකට ඇත්තේ විකල්ප කිහිපයක් පමණකි. නීති තවදුරටත් ඔබව ආරක්ෂා නොකරන විට, ඔබ ඔබව ආරක්ෂා කර ගත යුතු වෙයි.
නමුත් මෙය කොතැනට අප ගෙන යයි ද යන්න පිළිබඳව අපි පැහැදිලිව විමසා බලමු. බලකොටුවලින් පිරුණු ලෝකයක් දුප්පත්, බොහෝ සේ බිඳෙන සුළු සහ අඩු තිරසාර බවකින් යුතු වනු ඇත.

* අපි තවදුරටත් අපගේ වටිනාකම්වල ශක්තිය මත පමණක් විශ්වාසය තබනවා වෙනුවට, අපගේ ශක්තියේ වටිනාකම මත ද විශ්වාසය තබමු.
අපි ඒ ශක්තිය රට තුළ ගොඩනඟමින් සිටිමු.
* මගේ රජය බලයට පත් වූ දා සිට, අපි ආදායම්, ප්‍රාග්ධන ලාභ සහ ව්‍යාපාර ආයෝජන සඳහා වන බදු අඩු කර ඇත්තෙමු. අන්තර් පළාත් වෙළෙඳාම සඳහා ඇති සියලු ම ෆෙඩරල් බාධක අපි ඉවත් කර ඇත්තෙමු. බලශක්තිය, කෘතිම බුද්ධිය, තීරණාත්මක ඛනිජ ලවණ, නව වෙළෙඳ කොරිඩෝ සහ ඉන් ඔබ්බට ද යමින් ඩොලර් ට්‍රිලියනයක ආයෝජනයක් සඳහා අපි වේගයෙන් ක්‍රියා කරමින් සිටිමු..
අපි අපගේ ආරක්ෂක වියදම් මේ දශකය අවසන් වන විට දෙගුණ කරමින් සිටින අතර අපගේ දේශීය කර්මාන්ත ශක්තිමත් වන අයුරින් අපි එසේ කරන්නෙමු. අපගේ විදේශ වෙළෙඳාම වේගයෙන් විවිධාංගීකරණය කරන්නෙමු. යුරෝපීය ආරක්ෂක ප්‍රසම්පාදන විධිවිධාන වන SAFE හා සම්බන්ධ වීම ඇතුළුව, යුරෝපා සංගමය සමඟ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයකට අපි එකඟ වී ඇත්තෙමු.
* අපි මාස හයක් තුළ මහාද්වීප හතරක වෙළෙඳ සහ ආරක්ෂක ගිවිසුම් 12 ක් අත්සන් කර ඇත්තෙමු
* පසුගිය දින කිහිපය තුළ අපි චීනය සහ කටාර් සමඟ නව උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඇති කර ගත්තෙමු.
* අපි ඉන්දියාව, ආසියාන්, තායිලන්තය, පිලිපීනය සහ මර්කෝසූර් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා කරමින් සිටිමු.
කැනඩාව බලකොටු ප්‍රවේශය අනුගමනය නොකරයි. එහි අවධානය යොමු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා වෙළෙඳ පොළ විවිධාංගීකරණය කෙරෙහි ය. කැනඩාවේ කාර්මික ප්‍රදේශ එක්සත් ජනපද වෙළෙඳපොළට ඉතා ආසන්නව සහ ආසියානු සහ යුරෝපීය වෙළෙඳපොළවලින් බොහෝ දුරින් පිහිටා ඇති නිසාත්, වෙළෙඳ විවිධාංගීකරණය පහසු නැත.
කැනඩාව මෙන් ම ශ්‍රී ලංකාව ද ට්‍රම්ප්ගේ හිරිහැරවලට ලක්ව ඇත. තවමත් හෙළි නොකළ සහන ලබා දීමෙන් පසු අපට දරාගත හැකි සියයට 20 ක තීරුබදු ප්‍රමාණයක් සාකච්ඡා කර ඇතැයි සිතූ අපි නැවතත් ඉරානය සමඟ වෙළඳාම් කිරීම ගැන තර්ජනයට ලක්ව සිටිමු. අපගේ තේරීම් කැනඩාව මුහුණ දෙන තේරීම්වලට වඩා වෙනස් නොවේ.
ගිවිසුම් අවශ්‍ය ඇයි?
විදේශ වෙළෙඳාමේ නියැලෙන්නේ රජයයන් නොව පෞද්ගලික සමාගම් ය. කැනඩාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ආර්ථික ක්‍රියාකාරීන්ට රාජ්‍යයෙන් යම් ප්‍රමාණයක ස්වාධීනත්වයක් ඇති බැවින්, උපායමාර්ගික අරමුණු සපුරාලීම සඳහා දේශපාලන බලධාරීන් විසින් නියම කරන පරිදි ආයෝජනය කිරීම හෝ වෙළෙඳාමේ යෙදීම සමාගම් සිදු නොකරනු ඇත.
2002 දී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බාර ගැනීමට ඉන්දියාවේ අර්ධ වශයෙන් රාජ්‍ය හිමිකාරීත්වය දරන IOC සමාගම දැක්වූ උකටලී බව මගේ මතකයේ ඇත. ඔවුන් තම රජයේ උපදෙස් වලට කීකරු වූයේ ටැංකි ඉන්ධන බෙදා හැරීමේ ව්‍යාපාරයක් සමඟ එකතු කළ විට පමණකි.
පෞද්ගලික ආයතන අවදානම් ගනු ඇති නමුත් පරිපාලනමය වශයෙන් අත්පත් කර ගැනීමේ අවදානම් අඩු කර ගැනීමට ඒවා කැමැත්තක් දක්වයි. ද්විපාර්ශ්වික හෝ වෙනත් වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම් මගින් රාජ්‍ය ක්‍රියාමාර්ගවලින් ගලා එන අවදානම් අඩු කරයි.
"ගනුදෙනු සංස්කෘතියේ" (“deal culture”) ගිලී සිටින ආර්ථික ක්‍රියාකාරීන් නීත්‍යානුකූල බැඳීම් ඇති වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම් වලට කැමති නැත. ඔවුන් කැමති වන්නේ හිතවත් කම් ඇති දේශපාලනඥයින් සහ නිලධාරීන් හරහා ඇති කර ගන්නා ගනුදෙනු (ඩීල්) වලට ය. ඔවුන්ගේ විරෝධය මෙම භාෂාවේ වචන වලින් ප්‍රකාශ නොවන අතර ජාතික ස්වෛරීභාවය පිළිබඳ වාචාලකමෙන් ආවරණය කොට ඇත.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තවල විදේශීය වෘත්තිකයන්ගේ රැකියා සඳහා සහ ආයෝජනය සඳහා අවසර ලබා දී තිබුණේ GATS+ අනුව හෝ නීතිමය බැඳීම්වලට වඩා නිදහස් ලෙස ය. යෝජිත ඉන්දියා-ශ්‍රී ලංකා ගිවිසුමේ තොරතුරු තාක්ෂණ අංශයේ කැපවීම්වලට එරෙහි ප්‍රමුඛ විරුද්ධවාදියෙකුට මම මෙය පෙන්වා දුන්නෙමි. ඔහුගේ ප්‍රතිචාරය වූයේ ඒකපාර්ශ්වික නිදහස්කරණය ඉවත් කර ගත හැකි බව වන නමුත් ගිවිසුම් මට්ටමේ ද්විපාර්ශ්වික එකඟතා සම්බන්ධයෙන් තත්ත්වය එසේ නොවේ.මේ අනුව බාහිර ආයෝජකයා හෝ වෙළෙන්දා තම ව්‍යාපාර අවස්ථාවට හානි කරන නීති වෙනස් කිරීමේ අවදානමට නිරාවරණය වේ. මෙය අවම කළ හැක්කේ ඩීල්කරුවෙකු සමඟ හවුල් වීමෙන් පමණි.
කළ යුතු දේ
ශ්‍රී ලංකාවට තවදුරටත් එක්සත් ජනපදය විශ්වාසදායක වෙළෙඳ හවුල්කරුවෙකු ලෙස සැලකිය නොහැකිය. අපනයනකරුවන්ගේ සහ රටේ අවශ්‍යතා සඳහා වෙළෙඳපොළ සහ අපනයන විවිධාංගීකරණය කිරීම අවශ්‍ය වේ. අප ඇමරිකා එක්සත් ජනපදයට විකුණන්නේ නැතැයි එයින් අදහස් නොවන නමුත් අපට එම වෙළෙඳපොළ මත රැඳී සිටිය නොහැකිය. විවිධාංගීකරණය කිරීමට ඇති එක ම මාර්ගය ආසියාවේ වෙළෙඳ සාකච්ඡා වේගවත් කිරීම යි. ආනයන සඳහා පැරා තීරු බදු අඩු කිරීම හෝ ඉවත් කිරීම සහ ආනයනය සහ අපනයනය පහසු කිරීම අවශ්‍ය වෙයි.
මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
[email protected]
Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology