2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව, සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන සඳහා වූ අපනයන ආදායමත් එක්ව ඩොලර් මිලියන 15776.36 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ සඳහන් කර සිටියා.
2025 නොවැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52 කි.
එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.56% වාර්ෂික වර්ධනයකි.
මේ පිළිබදව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ ප්‍රකාශ කළේ, 2025 ජනවාරි සිට නොවැම්බර් කාලය තුල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 15776.36 ක් වූ බවත්, එය වාර්ෂිකව ශක්තිමත් වර්ධනයක් පිළිඹිබු කරන බවත්ය.
ප්‍රධාන වෙළඳපොළවල් යථා තත්ත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය අවධාරණය කරන බවත් ඔහු සඳහන් කර සිටියා.