March 20 (Citizen.lk News) - 2022 වසරේ පැවති අර්බුදකාරී සමයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදා නෞකාවකින් පිටව යාමට අදාළ වියදම් සහ එම මුදල් ගෙවූ ආකාරය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස අභියාචනාධිකරණය නාවික හමුදාවට නියෝග කර තිබෙනවා.
මාර්තු 19 වන දින ප්‍රකාශයට පත් කළ මෙම තීන්දුව ලබා දුන්නේ, 2022 ජූලි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ රටින් පැන යාම සඳහා නාවික නෞකාවක් භාවිතා කළ බවට වාර්තා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ මාධ්‍යවේදී රිෆ්ති අලි මහතා ඉදිරිපත් කළ ඉල්ලීමකට අදාළවයි.
එහිදී ඔහු කරුණු අටක් විමසා තිබූ අතර, නාවික හමුදාව මුලින් එම සියලු තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළේ, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමිනි.
පසුව ඔහු විසින් යොමු කළ අභියාචනාවකට අනුව, 2023 අගෝස්තු මාසයේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නියෝග කළේ, එම ගමන සඳහා වැය වූ මුදල සහ ඒ සඳහා ගෙවීම් කළේ කවුරුන්ද යන ප්‍රධාන කරුණු දෙක පමණක් හෙළි කරන ලෙසයි.
කොමිෂන් සභාවේ එම නියෝගය අභියෝගයට ලක් කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.
ඒ අනුව, ඊයේ (19) ප්‍රකාශයට පත් වූ තීන්දුවේ මූල්‍ය දත්ත හෙළි කිරීමෙන් ජාතික ආරක්ෂාවට හානි වන බවට නාවික හමුදාව ඉදිරිපත් කළ තර්කය ප්‍රමාණවත් සාක්ෂි මගින් සනාථ වී නොමැති බව පවසමින් අභියාචනාධිකරණය එම පෙත්සම නිෂ්ප්‍රභ කර සිටියා.
අධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත:
"තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමකි. තොරතුරු ලබා දීම සාමාන්‍ය රීතිය විය යුතු අතර, එය ප්‍රතික්ෂේප කිරීම සිදුවිය යුත්තේ ඉතා සීමිත සහ පැහැදිලි අවස්ථාවලදී පමණි."
රාජ්‍ය ආයතනවලට "රහස්‍යභාවය" යන ලේබලය යටතේ තොරතුරු වසන් කළ නොහැකි බවත්, අදාළ මූල්‍ය තොරතුරු හෙළි කිරීම සහ ජාතික ආරක්ෂාවට ඇති විය හැකි අවදානම අතර පැහැදිලි සම්බන්ධයක් පෙන්වීමට නාවික හමුදාව අපොහොසත් වී ඇති බවත් විනිසුරුවරු නිගමනය කර ඇත.
ඒ අනුව, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ නියෝගය තහවුරු කළ අධිකරණය විසින් අදාළ තොරතුරු මුදා හරින ලෙස නාවික හමුදාවට නියම ඇත.
මාධ්‍යවේදී රිෆ්ති අලි වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රුෂ්ඩි හබීබ් සහ නීතිඥ ඒ.එන්. මානතුංග ආරච්චි පෙනී සිටියා.