13 අප්‍රේල්
12:56:15 පෙර වරු
ව්‍යාපාරික · · 1 min read

ව්‍යවසායිකාවන් 1,500ක් සවිබල ගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, කොමර්ෂල් බැංකුවෙන් දීපව්‍යාප්‍ත වැඩසටහන් රැසක්

ව්‍යවසායිකාවන් 1,500ක් සවිබල ගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, කොමර්ෂල් බැංකුවෙන් දීපව්‍යාප්‍ත වැඩසටහන් රැසක්
“ඇය සවිබල ගන්වමින් එක්ව ඉදිරියට” තේමාව යටතේ දීපව්‍යාප්තව පැවැත්වූ වැඩසටහනක් (ඡායාරූප:කොමර්ෂල් බැංකුව)

April 11 (Citizen.lk News) - ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙරට කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව සංවිධානය කළ විශේෂ වැඩසටහන් මාලාවකට දිවයින පුරා විසිරී සිටින ව්‍යවසායිකාවන් 1,500කට අධික පිරිසක් සහභාගී වූහ.

“ඇය සවිබල ගන්වමින් එක්ව ඉදිරියට” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන හරහා කාන්තා ව්‍යවසායකත්වය සහිත ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සංසද 20කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇත. එහිදී මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය කළමනාකරණය, ඩිජිටල් කුසලතා, සයිබර් ආරක්ෂාව මෙන්ම කාන්තා සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීමට පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන සැසිය කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ව්‍යවසායිකාවන් 200ක පමණ පිරිසක් සහභාගී වූහ. එහිදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන කාන්තා හා තරුණ සවිබල ගැන්වීම් පිළිබඳ ගෝලීය උපදේශක ආචාර්ය සුලෝචනා සිගේරා, ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය අයන්ති ගුරුසිංහ, මනෝවිද්‍යාඥ සහ සංවර්ධන පුහුණුකරු සමිතා ඇතුල්දොරආරච්චි සහ WiLAT හි අන්තර්කාලීන ගෝලීය සභාපතිනි ගයානි ද අල්විස් යන මහත්මීන්ගෙන් සැදුම්ලත් පැනල සාකච්ඡාවක් පැවැත්වුණි.

කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති ප්‍රධාන සැසිය (ඡායාරූප:කොමර්ෂල් බැංකුව)

මීට අමතරව:

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගිය මාර්තු මාසය පුරාවටම කොමර්ෂල් බැංකු ශාඛා මට්ටමින් ද ක්‍රියාත්මක කෙරිණි.

ව්‍යවසායකත්ව වැඩසටහන්වලට අමතරව, කොළඹ මහා නගර සභාවේ සනීපාරක්ෂක අංශයේ කාන්තාවන් 200 දෙනෙකු වෙනුවෙන් විශේෂ වෛද්‍ය කඳවුරක් ද බැංකුව විසින් සංවිධානය කර තිබුණි. එහිදී රුධිර පරීක්ෂණ, පියයුරු පිළිකා පරීක්ෂණ, ශරීර ස්කන්ධ දර්ශක (BMI) පරීක්ෂාවන් සහ වෛද්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.

කොළඹ මහා නගර සභාවේ සනීපාරක්ෂක අංශයේ කාන්තාවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වෛද්‍ය කඳවුර (ඡායාරූප:කොමර්ෂල් බැංකුව)

මාර්තු සහ අප්‍රේල් මාසයන් ඉලක්ක කර ගනිමින් ‘අනගි’ කාන්තා ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ යටතේ තෝරාගත් ණය පහසුකම් සඳහා ලේඛන ගාස්තු අඩු කිරීම්, විශේෂ පොලී අනුපාත සහ දිවයින පුරා පිහිටි තෝරාගත් වෙළෙඳ ආයතනවලින් සුවිශේෂී වට්ටම් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.