26 පෙබරවාරි
08:09:13 පෙර වරු
විශේෂාංග ·

ගුවන් හමුදා 75 වන සංවත්සරයට සමගාමීව මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

ගුවන් හමුදා 75 වන සංවත්සරයට සමගාමීව මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්
(ඡායාරූපය: ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය)

February 25 (Citizen.lk News) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය සැමරීමේ වැඩසටහන් මාලාවට සමගාමීව, මඩකලපුව කොඩ්ඩයිමුනයි කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් ඉදිකළ අංගසම්පූර්ණ නව තොරතුරු තාක්ෂණ (IT) පරිගණක මධ්‍යස්ථානය පසුගිය 23 වනදා සිසු අයිතියට පත් කෙරුණා.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ මඟපෙන්වීම යටතේ ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

ග්‍රාමීය පාසල් දරුවන්ට නවීන තාක්ෂණික ඉගෙනුම් පරිසරයක් ලබාදීම මෙහි මූලික අරමුණයි.

මෙම නව පරිගණක විද්‍යාගාරය වායුසමීකරණය කරන ලද පරිශ්‍රයක ස්ථාපිත කර ඇති අතර, නවීන ඩෙස්ක්ටොප් පරිගණක 15ක්, UPS පද්ධති සහ අන්තර්ජාල පහසුකම්වලින් සමන්විත වනවා. මඩකලපුව රොටරි සමාජය විසින් මෙම විද්‍යාගාරයට අවශ්‍ය පරිගණක මේස සහ පුටු ලබා දෙමින් ව්‍යාපෘතියට දායකත්වය සපයා ඇත.

පරිගණක මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ගුවන් හමුදා විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ගෘප් කැප්ටන් චානක සූරියආරච්චි මෙන්ම රොටරි සමාජයේ සාමාජිකයින්, විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන් සහ සිසු දරු දැරියන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් මෙවැනි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටි තවත් ග්‍රාමීය පාසල් කිහිපයක ස්ථාපිත කිරීමට ගුවන් හමුදාව සැලසුම් කර ඇත.