January 22 (Citizen.lk News) - මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහායකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් (Mobile Lab) සේවයේ යෙදවීම ඊයේ (21) දින කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ දී නිල වශයෙන් ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරනවා.
මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් විනාඩි කිහිපයක් තුළ රියදුරන් විසින් දින 14 ක් ඇතුළත භාවිතා කළ මත්ද්‍රව්‍ය වර්ග හතරක් සම්බන්ධ වාර්තාවක් ලබා ගත හැකි බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හඳුනා ගන්නා රියදුරන් අධිකරණයට ඉදිරිපත් කර, එම රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අහෝසි කිරීම දක්වා වූ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් පරීක්ෂණය සඳහා යොමු කළ කෙටි දුර හා දුර ගමන් සේවා බස් රථ රියදුරන් 59 දෙනෙකු අතුරින් රියදුරන් 08 දෙනෙකු ගංජා භාවිතා කර ඇති බවට හා දෙදෙනෙකු හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හඳුනාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.