කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් වලට දැවැන්ත ජයක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද දින පැවති ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම හා මාලදිවයින කාන්තා කණ්ඩායම් අතර තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මාලදිවයින් ක්‍රීඩිකාවන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සිය පන්දුවාර 20 දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 279ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය.

මෙහිදී නායකත්ව ඉනීමක් ක්‍රීඩා කළ හර්ෂිතා මාධවී පන්දු 47කදී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් විය. ඒ හතරේ පහර 15ක් හා දැවැන්ත හයේ පහර තුනක් සමඟිනි . මෙම ලකුණු සංඛ්‍යාව කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ තෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර තෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව හා ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් කාන්තා ක්‍රිකට් 20-20 ඉතිහාසයේ පැවැත්වූ දෙවන හොඳම සම්බන්ධතාවය වේ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මාලදිවයින කාන්තා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ළකුණු 30ක් පමණි. මේ අනුව මාලදිවයින පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 249 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

එමෙන්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ පිරිමි කණ්ඩායම හා භූතාන කණ්ඩායම් අතර පැවැති තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 248 ක් ලබා ගැනීමට සමත් විය. මෙහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 48කදී ළකුණු 78ක් ලබාගැනීමට සමත් වූ අතර අනෙක් අන්තයේ රැඳී සිටි නිශාන් මධුසංඛ පන්දු 38කදී ළකුණු 65ක් ලබා ගනිමින් ආරම්භ කඩුල්ල වෙනුවෙන් ලකුණු 148ක් සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල භූතාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 75 ක් පමණි.මේ අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම භූතානය පරදවා ලකුණු 173ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න