සැප්තැම්බර් 15 වැනිදායින් පසු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව අප සතුයි – මැතිවරණ කොමිසම

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල සැප්තැම්බර් 15 වැනිදා සිට ජාතික මැතිවරණ කොමිසමට හිමි වන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (09) ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් දැනුවත්කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ ජනාධිපතිවරණය නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර දිනකදී පැවැත්වීමට ඉඩ පවතින බවයි.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් අද පෙරවරුවේ එම කොමිසමේදී පැවැත් විය.

ජනාධිපතිවරණයට තරග කිරීමේ සූදානමින් සිටින බව පිළිගත් දේශපාලන පක්ෂ 17ක් මේ වන විට ලිඛිතව සහ දුරකථන මාර්ගයෙන් මැතිවරණ කොමිසමට දන්වා ඇතැයි සභාපතිවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක හිටපු මහ ලේකම්වරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද ස්වාධීනව ඉදිරිපත් වන බව මේ වන විට දන්වා තිබේ.

ඒ අනුව අනාවරණ වුයේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන බවයි. 

මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිත කෙරෙන්නේ 2018 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයයි.

ඒ අනූව පුද්ගලයින් 159,92,096 (එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය දෙනෙකු ) ඡන්ද දායකයින් ලෙස සුදුසුකම් ලබා තිබේ.