> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# උස සමන්
- URL: https://www.citizen.lk/us-smn/
- Published: 2026-02-09T10:34:19.000Z
- Updated: 2026-02-09T10:37:44.000Z
- Description: උපුටා ගැනීම - Wijayabandara Wmk ෆේස්බුක් පිටුවෙන්
- Author: Citizen News
- Tags: මතවාද

ඊ. එම්. එස්. බී. ඒකනායක කියන්නේ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 'උස' චරිතයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය සමත් ව 1985 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වන ඊ. එම්. එස්. බී. (සමන්) ඒකනායක එකි 'උස' ගුණය එදා පටන් ම විදහා පෑ අපූරු නිලධාරීයෙක්.

ඔහු, ඉතා අවංක ය. ගුණ ගරුක ය. අතිදක්ෂ ය. නිර්මාණශීලී ය. නිහතමානී ය. මිත්‍රශීලී ය. මානුෂීය ගුණයෙන් පෝෂිත ය. කාර්යශූර ය.  
  
ඔහු, තීන්දු තීරණ ගැනීමේ දී අභීත ය. මත ප්‍රකාශනයේ දී ඍජු ය. 'උස' සමන් පොදු ජනප්‍රිය චරිතයක් නොවන්නේ ද ඒ නිසා ය.  
  
රාජ්‍ය සේවය පිණිස ම කැප වූ ඔහු තම සේවයේ ගරුත්වයත්, ස්වාමියාගේ ප්‍රතිරූපයත් සැමවිට ආරක්ෂා කිරීමට ම කැප වූ වෘත්තීකයෙකි. බාල හා ලාබ ප්‍රසිද්ධිය උදෙසා තම වෘත්තියමය අභිමානය කිසිවිටෙකත් උගසට නොතැබූ 'උස' නිලධාරියෙකි.

![](https://theleader.lk/images/2023/2026/February/ranil_saman.jpg)

> **එක් වසරක සේවාස්ථ පුහුණුවකින් පසු ඔහුගේ ප්‍රථම රාජකාරි ස්ථානය වුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව (සහකාර ලේකම්) යි. 1989 දී ඔහු, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර ලේකම් තනතුරට පත් වනවා. රනිල් වික්‍රමසිංහ - සමන් ඒකනායක සුසංයෝගයේ මූලාරම්භය එතැනයි.**

සමන්ගේ ඊලඟ රාජකාරි නැවතුම වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යි. 1992 දී ඔහු, සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ වැඩ භාර ගන්නවා. විශ්වවිද්‍යාලයෙන් සමුගැනීමෙන් පසු කෙටි කාලයක් 'ලේක්හවුස්' ආයතනයේ 'Daily News' පුවත්පත වෙනුවෙන් සේවය කළ (1983 - 1985) සමන්ට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාජකාරිය ඉතා ප්‍රියජනක එකක් වෙනවා. දෙපාර්තමේන්තුවේ සෑම කටයුත්තකට ම උද්යෝගශීලිව කැප වෙනවා. රාජකාරීමය වශයෙන් මට සමන් ප්‍රථමයෙන් මුණගැහෙන්නෙත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී යි. ඒ, ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යුගය යි. එම අවධියේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෑම දා ම අවදි වුණේ අලුයම 4.00ට යි.  
  
දිනක්, අලුයම රාජකාරි සඳහා සමන් සහ මම යමින් සිටිය දී, අප ගමන් කළ වාහනය කුඩා ලොරියක් හා ගැටෙනවා. දෙහිවල මංසන්ධියේ දී සිදු වූ මෙම අනතුරෙන් ලොරියේ ගමන්ගත් මත්ස්‍ය වෙළෙඳ සහායකයෙක් දැඩි ලෙස තුවාල ලබනවා. (පසුව ඔහු මිය යනවා). අපගේ වාහනයේ රියදුරු සහ කාර්යාල කාර්ය සහායකත් තුවාල ලබනවා. සමන්ටත්, මටත් සුළු ආපදා ඇති වුණා. අනතුරේ ඉදිරි කටයුතු දෙහිවල පොලීසිය වෙත භාර කරන සමන් මාවත් කැටුව කුලී රථයක ආධාරයෙන් කඩිනමින් කාර්යාලය වෙත පැමිණෙනවා. කිසිදු සිද්ධියක් සිදු නොවුනා සේ නියමිත රාජකාරි ආරම්භ කරනවා. ඒ තමයි සමන් ඒකනායක, එහෙමත් නැත්නම් ඊ. එම්. එස්. බී. ඒකනායක. 'උස' සමන්.

![Saman Ekanayake 1200x675px 01 09 25](https://theleader.lk/images/2023/2026/February/Saman_Ekanayake_1200x675px_01_09_25.jpg)

  
රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධූරයට ප්‍රථමවරට පත්වන්නේ 1993 දී යි. නිලධාරීන්ගේ හැකියාව, දක්ෂතාව සහ ධාරිතාව (capacity) නිගමනය කිරීමේ කුසලතාවෙන් පිරිපුන් අග්‍රාමාත්‍යවරයා තම කාර්යාලයේ සහකාර ලේකම් තනතුර සඳහා සමන් ඒකනායක නම් කරනවා. එතැනින් නො නවතින ඔහු, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ (සුනන්ද මද්දුමබණ්ඩාර) පෞද්ගලිකවම අමතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා සමන් ඒකනායක මුදාහරින ලෙස දන්වා සිටිනවා.   
  
> **එතැන් සිට, ඊ. එම්. එස්. බී. ඒකනායක එහෙමත් නැත්නම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති ලේකම් දක්වා ම පිය නගනවා. 'හෙට දකින රනිල්' ට යෝධ ශක්තියක් වනවා. ඒ රටේත්, ජනතාවගේත් හිත සුව පිණිස ම යි.**

![saman eka](https://theleader.lk/images/2023/2026/February/saman_eka.jpg)

  
එකසමාන ගුණ සමුදායන් රාශියකින් පිරිපුන් රනිල් - සමන් සුසංයෝගය ඵල දරනවා. එහෙත්, රනිල් වික්‍රමසිංහට මෙන්ම 'උස' සමන්ටත් 'මාංචු' පලඳවනවා...

![Tall saman](https://theleader.lk/images/2023/2026/February/Tall_saman.jpg)
  
  
**සටහන | විජයබණ්ඩාර** 
**Wijayabandara WMK** 
**Digital creator**  
[**wijayabtdm@gmail.com**](mailto:wijayabtdm@gmail.com)