පාස්කු ප්‍රහාරයෙන් අසරණ වු දරුවන්ට භාරකාර අරමුදලක්.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් අසරණභාවයට පත්වූ ළමුන් 33 දෙනා රැකබලා ගැනීම සඳහා සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ස්ථිර වැඩපිළිවෙලක් ලෙස භාරකාර අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන්.එසේම මෙම අරමුදල සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් බාහිර ප්‍රදාන මගින් ලබා ගැනීමට අපේක්ෂිත අතර මෙයට අමතරව හානි පූර්ණ කාර්යාලය හරහා ද මෙම ළමුන්ට අවශ්‍යතාවය පරිදි ආධාර සලසනු ලබනවා.

දැනට රෝහල්ගත වී සිටින්නන්ට විදෙස් ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් රජයේ වියදමින් විදෙස් ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් ද සකස් කර තිබෙනවා.

එසේම මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ගෙවීමට ද, හානියට පත් දේපළ සඳහා වන්දි මුදල් ගෙවීමටත් රජය කටයුතු සලසා ඇති බව වාර්තා වෙනවා.

මේ වන විට මියගිය පුද්ගලයින් 189 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 185 ක වන්දි මුදලකුත් තුවාල ලැබූ පුද්ගලයින් 403 දෙනෙකුත් වෙනුවෙන් රුපියල් මිලියන 53 කට අධික වන්දි මුදලක් ද ගෙවා අවසන් කර තිබෙනවා.

මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව මිනුවන්ගොඩ, කුලියාපිටිය, හෙට්ටිපොල වැනි ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් හානියට පත් දේපොළ වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

සම්පූර්ණ හානිපූර්ණ වන්දිය ගෙවන තෙක් බොහෝ ව්‍යාපාර ආරම්භ කිරීම පිණිස අත්තිකාරම් මුදලක් ගෙවීමට හානි පූර්ණ කාර්යාලයට රජය උපදෙස් දී ඇති අතර වන්දි ගෙවීම පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව 0112-575803/0112- 575813/ 0112-575826 යන දුරකථන අංක ඔස්සේ හෝ 0112- 575815 යන ෆැක්ස් අංකය ඔස්සේ හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතාගෙන් විමසන ලෙස අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කරනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න