දේශපාලනඥයන්ගේ නමින් නිධන් හෑරූ 8ක් අත්අඩංගුවට

ප්‍රබල දේශපාලනඥයන්ගේ නම් සඳහන් කරමින් රාජ්‍ය නිලධාරීන් නොමඟ යවා නිධන් හෑරූ පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ (11) රාත්‍රියේ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ අක්කර හතළිහකට ආසන්න තේක්ක වගා කොට ඇති ඉඩමක වීශාල යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මෙම පිරිස මාස දෙකකට වැඩි කාලයක සිට නිධානයක මැණික් ඇති බවට විශ්වාස කොට මහපොළොව හාරා කැනීම් කටයුතුවල නිරතවන බව ප්‍රදේශවාසීහු දඹුල්ල ගලේවෙල සහ අවට ප්‍රදේශවල වගකිවයුතු රාජ්‍ය ආයතන නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව පවසයි.

ප්‍රදේශවාසීන් දඹුල්ල ගලේවෙල සහ අවට ප්‍රදේශවල වගකිවයුතු රාජ්‍ය ආයතන නිලධාරීන් වෙත දැනුම් දී ඇති නමුත් කිසිදු වගකිව යුතු නිලධාරියෙකු මෙම ස්ථානය සොයා බැලීමට නොපැමිණි බව ප්‍රදේශවාසීන් පවසති .

ඒ අනුව ප්‍රදේශවාසින් විසින් දඹුල්ල පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරට දැනුම්දී ඇති අතර අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක සඳකැලුම් මහතා ජයතිලක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස මෙම ස්ථානය වැටලීමට පියවර ගනු ඇති අතර එහිදි මෙම ස්ථානයේ කැණීම් කරමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු කැණීම් උපකරණ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස මාදිපොල, ගලේවෙල, ඉහළ බම්බාව ,කුරුණෑගල, අඹේපුස්ස ,හිඟුරක්ගොඩ, මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටියේ.

මෙම ස්ථානයේ තිබී විදුලි ඩෙටනේටර් හයක් ,ජෙලට්නයිට් කූරු හතරක් ,විශාල වයර් තොගයක් ,පුපුරන ද්‍රව්‍ය සහ වයර් ,ගල් කැඩීම සඳහා යොදා ගන්නා උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස සහ භාණ්ඩ ගලේවෙල පොලිසියට බාරදීමට පියවර ගෙන තිබූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් කටයුතු සිදුකෙරෙන බවත් මෙම කැණීම් සඳහා යොදාගත් භාණ්ඩ සහ යන්ත්‍ර සූත්‍ර සෙවීමේ මෙහෙයුම් ආරම්භ කරන බවත් පොලිසිය පවසයි.