> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව
- URL: https://www.citizen.lk/tissl-11th-annual-conference-provides-new-vision-for-educational-change-management/
- Published: 2026-06-25T06:17:03.000Z
- Updated: 2026-06-25T06:17:03.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විශේෂාංග

June 25 (Citizen News) - ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. 

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකයන්, විදුහල්පතිවරුන් සහ විද්වත් කථිකයන් රැසක් එක් කළ මෙම සමුළුව නූතන අධ්‍යාපනය මුහුණ දෙන වෙනස්කම් හා අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම පිළිබඳ ගැඹුරු සංවාදයකට මඟ පෑදීය. සමුළුවේ සමාරම්භක අවස්ථාව සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් ආරම්භ වූ අතර TISSL සභාපති දයාන් ප්‍රනාන්දු මහතා සහ ආරම්භක සභාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා අධ්‍යාපනයේ අනාගතය සඳහා නවෝත්පාදන, දැක්ම සහ නායකත්වයේ වැදගත්කම අවධාරණය කළහ. සංස්කෘතික අංග රැසකින් වර්ණවත් වූ මෙම අවස්ථාව අධ්‍යාපනය යනු දැනුම පමණක් නොව අනන්‍යතාව හා වටිනාකම් ගොඩ නැගීමේ ක්‍රියාවලියක් බවද සිහිපත් කළේය. ප්‍රධාන දේශනය ඉදිරිපත් කළ ආචාර්ය අකාශ් රවුත් මහතා අස්ථාවර සහ වේගයෙන් වෙනස් වන ලෝකයක අධ්‍යාපන නායකයන් සතු විය යුතු සදාචාරාත්මක ධෛර්යය, ස්වයං විමර්ශනය සහ දැක්ම පිළිබඳව අවධානය යොමු කළේය.

![](https://www.citizen.lk/content/images/2026/06/image-1.png)

TISSL සභාපති දයාන් ප්‍රනාන්දු මහතා සහ ආරම්භක සභාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා **විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල් වූ අවස්ථාව*

දෙවැනි දිනය පුරා වෙනස්කම් සඳහා සූදානම් පාසල් සංස්කෘතියක් ගොඩ නැගීම, නවෝත්පාදන හා අධ්‍යාපන ප්‍රතිඵල අතර සමතුලිතතාව පවත්වා ගැනීම, පෞද්ගලික ඔරොත්තු දීමේ හැකියාව සහ නායකත්ව අභියෝග යනාදී මාතෘකා රැසක් පිළිබඳ විද්වත් සාකච්ඡා පැවැත්විණි. විශේෂයෙන් “When Change Gets Hard: What School Leaders Don’t Talk About” මැයෙන් පැවති සංවාදය, පාසල් නායකත්වයේ සැඟවුණු අභියෝග පිළිබඳ විවෘත අදහස් හුවමාරුවකට අවස්ථාව සැළැසීය. 

අධ්‍යාපනයේ අනාගතය සාර්ථකව හැඩ ගැස්වීමට අවශ්‍ය දැක්ම, ඔරොත්තු දීමේ හැකියාව සහ මානව සබඳතා පිළිබඳ වැදගත් පණිවුඩයක් රැගෙන අවසන් වූ TISSL 2026 සමුළුව ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රජාවට නව මඟ පෙන්වීමක් සැපැයූ සුවිශේෂ අවස්ථාවක් ලෙස සැළැකේ.

![](https://www.citizen.lk/content/images/2026/06/C.jpg)

**TISSL 2026 සමුළුව සඳහා සහභාගිවූවන්*