පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවූ තේරීම්කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු 23 වැනිදා.

0
12

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු 23 වනදා නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මේ වනවිට තේරීම් කාරක සභාවට සාක්ෂි ලබාදීම සදහා පාර්ශව රැසක් සහභාගි වී ඇති අතර, තවදුරටත් සාක්ෂි විමසීම සදහා කැදවන්නේ කවුරුන් ද යන්න මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව සඳහන්.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව එළඹෙන 24 වනදා යළි රැස්වීමට නියමිතයි.

එදින පෙරවරු 10.30 සිට පස්වරු 6.30 දක්වා තේරීම්කාරක සභාව රැස්වන අතර, එදිනට සාක්ෂි විමසීම සිදුකරනු ලබන්නේ බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන්.

ඒ අනුව, රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

එමෙන්ම, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ එදිනට සාක්ෂි ලබාදෙනවා.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව මාධ්‍යයට විවෘත කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි කමිටු ආරංචි මාර්ග සඳහන් කළේ.

24 වනදා සිට 26 වනදා දක්වා තෙදින තුළම සාක්ෂි විමසීම සිදුකිරීමට නියමිතයි.