ක්‍රීඩා පුහුණුකරුවන් 3850ගේ පත්වීම්වලට ගුරු සංගමයෙන් දැඩි විරෝධය.

0
172

අපොස සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වීම මූලික සුදුසුකම සේ සළකා බඳවාගත් ක‍්‍රීඩා පුහුණුකරුවන් 3850දෙනෙකුට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත්වීම් ලබාදීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.

මෙම පිරිසට පත්වීම් ලබාදීම අද (13) අරලිය ගහ මන්දිරයේ දී සිදු කරන බවත් එම බඳවා ගැනීම් නීති විරෝධී යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා යැවූ බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියා.

මෙම බඳවා ගැනීම් ජාතික මට්ටමින් සිදුකර ඇති බවත්, 20,000 කට අධික තරුණ පිරිසකගෙන් මෙම පිරිස බඳවා ගෙන ඇත්තේ තරඟ විභාගයක්වත් නොපවත්වා සම්මුඛ පරීක්ෂණවලින් පමණක් බවත් එම මහතා සඳහන් කළා.

ඔවුන්ට ඇති එකම සුදුසුකම සේ සළකා තිබුණේ දිස්ති‍්‍රක් මට්ටමින් පාසල් කී‍්‍රඩා තරඟයකින් තෙවැනි ස්ථානය ලබා තිබීම බවත් මේ වනවිට මේ පිරිසට පුහුණුවකුත් ලබා දී ඇති බවත් ගුරු සංගම් ලේකම්වරයා කියා සිටියා.

අද දිනයේ ඇති ප‍්‍රධානතම අවශ්‍යතාවය වන්නේ ලක්ෂ 45ක් වන සිසු දරුවන් පිරිස පාසල් යැවීම සඳහා මව්පියන්ට ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබාදීම වුවත් එය වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ මේ කටයුත්ත යැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවා.