> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ‘සූරිය සුළඟ’: නිල පූර්ව ප්‍රචාරක පටය නිකුත් වේ
- URL: https://www.citizen.lk/suriya-sulaga-official-trailer-released/
- Published: 2026-05-29T02:18:59.000Z
- Updated: 2026-05-29T02:45:21.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විශේෂාංග

May 29 (Citizen News) - ‘දේදුනු ආකාසේ’ සහ ‘ආදරණීය කතාවක්’ ඇතුළු ප්‍රේක්ෂක හදවත් දිනාගත්, වාණිජ සිනමාවේ දැවැන්ත වාර්තා තැබූ ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා සිත්තම වන “සූරිය සුළඟ” (Suriya Sulanga) චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය (Official Trailer) පසුගියදා නිල වශයෙන් අන්තර්ජාලයට නිකුත් කෙරුණී.

මෙම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු සිදු කර ඇත්තේ මනීෂා ද සිල්වා, චම්මික ද සිල්වා සහ එම්.ආර්.එච් පෙරේරා විසිනි.

> *සිනමාපටයේ කතා තේමාව ගෙතී ඇත්තේ වත්මන් සමාජයේ දේශපාලන බලය, ධනය සහ පන්ති ක්‍රමය හමුවේ ආදරය මුහුණ දෙන සැබෑ ඛේදවාචකයක් වටා ය. ප්‍රබල දේශපාලන සබඳතා ඇති, ඉහළ පැළැන්තියක පවුලක දියණියක වන තරුෂි සහ සාමාන්‍ය පවුලක තරුණයෙකු වන සිදත් අතර දැඩි ආදර සබඳතාවක් ගොඩනැඟේ. ඔවුන් දෙදෙනා විවාහ වීමට සූදානම් වුවද, තරුෂිගේ බලසම්පන්න පියා ඊට කිසිසේත්ම මනාප වන්නේ නැත. එහෙත්, ඔහු තම විරෝධය ප්‍රසිද්ධියේ නොපෙන්වා, ඒ වෙනුවට දේශපාලන උපක්‍රම සහ බලය භාවිත කරමින් සිදත්ගෙන් සූක්ෂ්ම ලෙස පළිගැනීමට මාන බලයි.ඒ හමුවේ සිදත්ට සහ තරුෂිට මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත, කුතුහලයෙන් පිරි සිදුවීම් මාලාව "සූරිය සුළඟ" තුළින් එතැන් පටන් දිග හැරේ.*

මේඝ සූරියආරච්චි සහ නිහාරි පෙරේරා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර සජිනි රෝයි, අශාන් ඩයස්, සනත් ගුණතිලක, සේමිණී ඉද්දමල්ගොඩ, බිමල් ජයකොඩි, අතුල ජයසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මුතු තරංගා, යශෝධා රාජක්‍රිෂ්ණා, ප්‍රියංකර රත්නායක සහ මෞලි ෆර්නෑන්ඩු ඇතුළු ප්‍රවීණ සහ අද පරපුරේ නලු නිළියන් රැසක්ම සූරිය සුළඟ තුළින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට නියමිතය.

ප්‍රේමවන්තයින්ට මෙන්ම කුතුහලයෙන් පිරි සිනමා අත්දැකීම් ප්‍රිය කරන්නන් වෙනුවෙන්ම වෙන්වූ “සූරිය සුළඟ” එළඹෙන ජුනි 04 සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලාවලදී තිරගත වීමට සියල්ල සූදානම් කර ඇත.

*‘සූරිය සුළඟ’ නිල පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න:* <youtube.com/watch?v=W6vEC1Np9CI&feature=youtu.be>