පේ‍්‍රක්ෂකයන් නිහඬ කළ අසුරන්

ධනුෂ් හා වෙට්ටි‍්‍රමාරන් සුසංයෝගයෙන් සිනමාවට නැඟුණු තවත් චිත‍්‍රපටියක් වූ ‘අසුරන්’ ඔක්තෝබර් 4 වැනිදා සිට ඉන්දියාවේ සිනමාහල්වලට ආවා. තාක්ෂණික ප‍්‍රශ්නයක් නිසා එය ලංකාවට ආවේ සතියක් පමණ පසුවීයි. ලද පළවැනි අවස්ථාවේම අප සිනමාහලට ගියේ ධනුෂ්, වෙට්ටි‍්‍රමාරන් සුසංයෝගයක් දැවැන්ත තිරයේ දැකීම මොහොතක්වත් ප‍්‍රමාද නොකළ යුතු නිසායි.

මේ චිත‍්‍රපටිය පූමනි නම් දෙමළ ලේඛකයාගේ ‘වෙක්කයි‘ නම් නවකථාව ඇසුරෙන් තැනූ චිත‍්‍රපටියක්. එසේ වුවත් වෙට්ටි‍්‍රමාරන්ම කියන විදියට මේ චිත‍්‍රපටිය නවකතාවට වඩා සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්. කතාව කියැවූ අයෙකු චිත‍්‍රපටිය නැරඹුවොත් කළකිරීමට පත්වෙන බව වෙට්ටි‍්‍රමාරන්ම කියා තිබෙනවා. වඩා යථාර්ථවාදී නවකථාවක් ඇසුරෙන් ජනප‍්‍රිය චිත‍්‍රපටියක් කිරීමට වෙට්ටි‍්‍රමාරන් උත්සාහ කර ඇතැයි පෙනෙනවා.

වෙක්කයි යන දෙමළ නම ‘රත්වූ’ වැනි සිංහල වචනයකින් තේරුම් ගත හැකියි. බොහෝවිට කුල පීඩනය, වාර්ගික වෛරය නිසා ලේ රත් කරගෙන එකිනෙකා කපා කොටාගැනීම දෙමළ සංස්කෘතියෙහි ලක්ෂණයක්. මූලිකවම නවකතාවේ තේමාව එයයි. චිත‍්‍රපටියේදීත් මතු කරන්නේ ඒ තේමාවයි.

ජනප‍්‍රිය දෙමළ සිනමාවේ අධික ලෙස දකින්නට ඇති රුධිරය, වීරයා මිනිමැරීම, සටන් ආදි සියලූ ලක්ෂණ පෙන්වා, ඒ මරාගැනීම්වලට එරෙහි හැඟීමකින් කතාව අවසන් කරන්නට වෙට්ටි‍්‍රමාරන් උත්සාහ කර තිබෙනවා. ධනුෂ් මෑත කාලයේ රඟපෑ මාරි, වීඅයිපී, තංග මගන් වැනි ජනප‍්‍රිය චිත‍්‍රපටි ඔහුගේ රංගන හැකියාවට සාධාරණයක් ඉටු කළේ නැහැ. ‘පන්ච් ඩයලොග්’ උසුරවන ජනප‍්‍රිය දෙමළ වීරයා වීමේ හැකියාව ධනුෂ්ට තිබෙන බව ඇත්ත. එහෙත් ධනුෂ් කියන්නේ විනෝද් (කාදල් කොන්ඬේන්*, කොක්කි කුමාර් (පුදුපේට්ටයි *, කරුප්පු (ආදුකාලම්, මර්යාන් (මර්යාන් වැනි චරිත රඟපාන්න ඕනෑ කෙනෙක්. සරලව කීවොත් අන්ධ රසිකයන්ට සමරන්න පුළුවන් ජනප‍්‍රිය ‘වීරයෙක්’ වෙනුවට, විචාරශීලී රසිකයෙක්ට යළි යළිත් කියවන්නට පුළුවන් අඩුපාඩු සහිත නැවුම් ‘චරිතයක්’ වසර කිහිපයකට වතාවක්වත් ධනුෂ්ගෙන් අප බලාපොරොත්තු වෙනවා. ඇතුළෙන් බිඳීගිය, තමන් සමඟම අරගල කරන චරිත පෙර නොදුටූ විරූ ලෙස සිනමා රූපයට නඟන්නට ධනුෂ්ට ඇති අසමසම හැකියාව අපට අමතකව යා යුතු නැහැ.

ධනුෂ්ගේ දිගැටි අත් සහ පාද, කෙට්ටු සිරුර මෙන්ම හැඟීම්වලට සමපාතව සිරුරම චලනය කිරීමේ හැකියාව නිසා ඔහු සිනමා තිරය මත වෙනස් හැඩතල මවන්නට දක්ෂයි. ඔහු ඒ හැකියාව හොඳ නිර්මාණ වෙනුවෙන් පාවිච්චි කළ යුතුයි.

දෙමළ සිනමාවේ ජනප‍්‍රිය නළුවන් බොහෝ දෙනෙක් කිසිසේත්ම බාර නොගන්නා චරිතයක් අසුරන් වෙනුවෙන් ධනුෂ් බාරගෙන තිබෙන්නේ අපේ ඒ ආශාව සම්පූර්ණ කරමිනුයි. ධනුෂ් රඟපාන්නේ සිනමා වීරයෙකුගේ චරිතයක් නොවෙයි. ‘ජනප‍්‍රිය’ දෙමළ සිනමාවේ මිනුම් දඬුවලට අනුව ‘බිඳීගිය‘ චරිතයක් ධනුෂ් මෙහි රඟපානවා.

එය කුලයෙන් හා ධනයෙන් පීඩාවට පත්වෙන පවුලක ‘සිවසාමි’ නම් ගෘහමූලිකයෙකුගේ චරිතයක්. බලවතුන්ගෙන් කෙතරම් පීඩාවට පත්වුණත් සිවසාමි එයට එරෙහිව සටන් නොකර හිස පාත් කරගෙන ඉන්නවා. සිවසාමි ඒ ගැන සිය බාල පුතුගේ ගර්හාවට පවා ලක්වෙනවා.

ඔහුගේ චරිතයේ ස්වභාවයට උදාහරණයක් ලෙස සිවසාමිගේ පුතා පොලීසියෙන් අත්අඩංගුවට ගත් පසු එයට ඔහුගේ ප‍්‍රතික‍්‍රියාව ගැන කිව හැකියි. පුතා නිදහස් කර දෙන ලෙස ඉල්ලා ප‍්‍රදේශයේ ප‍්‍රභූවරයෙකුගේ නියෝග මත ගම්මානයක ගෙයින් ගෙට ගොස් ගෘහමූලිකයන් ඉදිරියේ ඔහු බඩගා වැඳ වැටෙනවා.

සාමාන්‍යයෙන් දෙමළ සිනමා වීරයෙකුට ගෙයින් ගෙට ගොස් බඩගා වඳින්නැයි ප‍්‍රභූවරයෙක් කීවොත් ප‍්‍රභූවරයාට පහරදී, වීරත්වය නැගෙන දෙබසක් කියනු ඇතැයි අනුමාන කළ හැකියි. ‘සිංහයන් කාගේවත් දෙපා මුල වැටෙන්නේ නැහැ’ වැනි වීර දෙබසක් සාම්ප‍්‍රදායික දෙමළ වීරයෙකු නම් එවැනි මොහොතක කියනවා.

එහෙත් ධනුෂ් තම චරිතය වෙනුවෙන් ගම්මානයක මිනිසුන් ඉදිරියේ බඩගා වැඳවැටී, වෙහෙස වී වෙව්ල වෙව්ලා එළියට එන්නේ විසිල් ගසන්නට බලා සිටින සාම්ප‍්‍රදායික දෙමළ පේ‍්‍රක්ෂකයන් කම්පනයට පත්කොට මීයට පිම්බාක් මෙන් නිහඬ කරමිනුයි.

ප‍්‍රවීණ දෙමළ සිනමා විචාරක භාරද්වාජ් රංගන් පෙන්වාදෙන පරිදිම, අසුරන් චිත‍්‍රපටිය සිනමාත්මක අතින් වෙට්ටි‍්‍රමාරන්ගේ ‘විසාරනෛ’ හෝ ‘වඩ චෙන්නායි’ මට්ටමෙන් තබන්නට බැරි බව ලියුම්කරුටත් හැෙඟනවා. විශේෂයෙන්ම විසාරනෛ චිත‍්‍රපටියේදී හිංසනය පිළිබඳ පේ‍්‍රක්ෂකයා සම්පූර්ණයෙන්ම කම්පනයට පත් කරන්නට වෙට්ටි‍්‍රමාරන් සමත් වුණා. වඩ චෙන්නායි චිත‍්‍රපටයේදී ක‍්‍රම ක‍්‍රමයෙන් චරිතයක් ගොඩනංවමින් වීර කාව්‍ය මට්ටමේ කතාවක් ගොඩනංවන්නට ඔහු සමත්වුණා.

ඒ චිත‍්‍රපටි දෙකේදීම වෙට්ටි‍්‍රමාරන් තමන්ගේ නිර්මාණාත්මක නිදහස පාවිච්චි කරමින් කතාව නිර්මාණය කර තිබුණා. අපේ කලාපයේ සිනමාකරුවන් සාමාන්‍යයෙන් දුක, සතුට, ආදරය, කෝපය තීව‍්‍ර කර පෙන්වන්නට පාවිච්චි කරන්නේ ගීත. එහෙත් වෙට්ටි‍්‍රමාරන් විසාරනෛ චිත‍්‍රපටියේදී සම්පූර්ණයෙන්ම පාහේ ගීතවලින් ඉවත්වුණා. වඩ චෙන්නායි චිත‍්‍රපටියේදීත් දීර්ඝ ගීත යොදාගත්තේ නැහැ. එවැනි ජනප‍්‍රිය උපකරණ වෙනුවට සිනමාත්මක උපක‍්‍රම පාවිච්චි කරමින් විවිධාකාර අවස්ථා ඔහු නිර්මාණය කළේ කලාත්මක සිනමාවට සමීප වෙමින්.

එහෙත් අසුරන් චිත‍්‍රපටිය වඩා සමීප වන්නේ ඔහුගේ පළවැනි චිත‍්‍රපටිය වන ‘පොල්ලදාවන්’ චිත‍්‍රපටියට. ක‍්‍රම ක‍්‍රමයෙන් චරිතයක් ගොඩනැංවීම පවා යම් දුරකට ඔහුගෙන් ගිලිහී ගිහින්.

උදාහරණයකට ඔහුගේ අතීත කතාව ගත හැකියි. ජනප‍්‍රිය දෙමළ චිත‍්‍රපටිවල සිටින ප‍්‍රධාන චරිතයේ අතීත කතාවක් හෙවත් ෆ්ලෑෂ්බැක් එකක් ඉදිරිපත් කිරීම නිතර පාවිච්චි කරන උපක‍්‍රමයක්. (උදාහරණ ලෙස බාෂා, තෙරි, වේදාලම් වැනි චිත‍්‍රපටි සැලකිය හැකියි.* කතාවේ වීරයා අතීතයේදී මීට වඩා සම්පූර්ණ වෙනස් චරිතයක් බව චිත‍්‍රපටිය මැදදී හෙළිදරව් වෙනවා. ඉන්පසුව අතීත කතාව ඉදිරිපත් කරනවා. මෙය බහුලව පාවිච්චි වෙන උපක‍්‍රමයක්. එහෙත් අතීතයේ සිටි චරිතය වත්මන් චරිතයට වෙනස් වූ හැටි, චරිතයේ ගලායෑම සම්පූර්ණ කරන්නේ නැහැ. එවැනි උපක‍්‍රමයක් අසුරන් චිත‍්‍රපටියේදීත් වෙට්ටි‍්‍රමාරන් පාවිච්චි කරනවා.

කෙසේවෙතත් මේ චිත‍්‍රපටි වෙට්ටි‍්‍රමාරන්ගේම අවසන් චිත‍්‍රපටි දෙකට සාපේක්ෂව ජනප‍්‍රිය සිනමාව පැත්තට බර වුණත්, එය දුර්වල බව ලියුම්කරු අදහස් කළේ නැහැ. එය දෙමළ සිනමාවේ හැටියට ඓතිහාසික මට්ටමේ විශිෂ්ටතම චිත‍්‍රපටියක්.

– අනිද්දා පුවත්පතෙන්

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න