ගෝඨාභයට එරෙහි චෝදනා සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දැනුම් දෙයි.

0
25

මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 33කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ චෝදනා සංශෝධනය කළ යුතු තත්ත්වයක පවතීනම් එය සංශෝධනය කිරීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට පෙන්වාදී තිබෙනවා.

එම නඩුවේ චෝදනා ගොනුකළ ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් සහ අදාළ නඩුව විභාගයට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට බලයක් නොමැති බව පවසා තමන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ අභියාචනාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා.

ඒ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී එම අභියාචනා සළකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස 9 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට ඊට අදාළ කරුණු දක්වන ලෙස දෙපාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දී තිබෙනවා.