ශ්‍රීලංකන් මගීන්ට දැන් එයාර් ඉන්දියා සහයෝගීත්වයෙන් කැනඩාව දක්වා පියාසර කරන්නට අවස්ථාව

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර සංචාරක සම්බන්ධතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය ස්ථිර පියවරක් ගෙන තිබේ. ගුවන් සේවයේ දිගුකාලීන හවුල්කරුවෙකු වන එයාර් ඉන්දියා ගුවන් සේවය සමඟ සංකේත හුවමාරු ගුවන් ගිවිසුමකට එක්වෙමින් ටොරොන්ටෝ සහ නවදිල්ලිය අතර සංචාරය කිරීමේ අවස්ථාව සිය ගුවන් මගීන්ට ලබා දී ඇත. ඒ අනුව 2019 නොවැම්බර් මස 7 වන දින සිට කොළඹ සිට ටොරොන්ටෝ වෙත වඩාත් සුප පහසු සේවා සැපයීමට ගුවන් සේවයට අවස්ථාව සැලසී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය “එයාර් ඉන්දියා ගුවන් සේවය අපගේ දිගුකාලීන හවුල්කරුවෙක්. මෙම සේවාව සැපයීම සඳහා ඔවුන් සමඟ එක්වීමට ලැබීම පිළිබඳ අපි සතුටු වෙමු. අපගේ ගමනාන්ත සහ ගුවන් ගමන් වාර වැඩි කිරීම් හරහා ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය පුළුල් කරමින් සිටිනවා වගේම හවුල්කාර ගුවන් සමාගම් සමඟ සංකේත හුවමාරුව හරහා නව වෙළඳපලවල් කරා ගුවන් සේවය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික වැසියන්ට සහ විදෙස් ගත වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට සංචාරය කිරීමට පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි. ”
එයාර් ඉන්දියා ගුවන් සේවයේ වාණිජ අධ්‍යක්ෂ මීනාක්ෂි මලික් මහත්මිය සඳහන් කළේ එයාර් ඉන්දියා ගුවන් සේවයේ සංචාරකයින්ට පහසුකම් සැලසීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි. එසේම සිය දිගුකාලීන හවුල්කරුවකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ මෙම වැඩිදියුණු කළ සහයෝගීතාව මගින් දිල්ලි ගුවන්තොටුපළ හරහා සංචාරකයින්ට කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර බාධාවකින් තොරව සංචාරය කිරීමට හැකි වන බවද ඇය පෙන්වා දුන්නේය.
මෙමගින් සංචාරකයින්ට මීට පෙර වෙන් කරවා ගත නොහැකි වූ ඔවුන්ගේ සම්පූර්ණ ගුවන් ගමන එකවරම වෙන් කරවා ගැනීමට දැන් අවස්ථාව සැලසී ඇත. ඒ අනුව දැන් ටොරොන්ටෝ හි ලෙස්ටර් බී. පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා නොනවතින ගුවන් ගමනකට එක්වීමට සංචාරකයින්ට අස්ථාව සැලසේ. එහි දී කොළඹ සිට දිල්ලි දක්වා පැමිණි මගීන්ට පැය 4 ක කාලයකින් පසු ටොරොන්ටෝ වෙත යාමටත් ටොරොන්ටෝ සිට දිල්ලිය දක්වා පැමිණී මගීන්ට පැය 6 ක කාලයකින් පසු කොළඹ වෙත ලඟාවීමටත් හැකිවේ.
ටොරොන්ටෝ සිට බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක වේ. AI187 දිල්ලි- ටොරොන්ටෝ ගුවන් යානය UL3640 යන ශ්‍රීලංකන් කේතය යටතේ ක්‍රියාත්මක වන අතර ටොරොන්ටෝ – දිල්ලි ගුවන් යානය AI188 ශ්‍රීලංකන් කේත අංකය UL3641 යටතේ ක්‍රියාත්මක වේ.
ශ්‍රීලංකන් සහ එයාර් ඉන්දියා ගුවන් සේවය මේ වන විට දකුණු ආසියාව මෙන්ම ඈත පෙරදිග සහ ඉන්දියන් සාගර කලාපයේ ගමනාන්ත විශාල සංඛ්‍යාවක් වෙත සංඛේත හුවමාරු මෙහෙයුම් සිදුකරයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම වත්මන්හි සිය හවුල්කාර ගුවන් සේවා සමඟ එක්ව රටවල් 58 ගමනාන්ත 130 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න