ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය අතරතුර ඔවුන්ට “ත්‍රස්ත තර්ජනයක්” එල්ලවිය හැකි බවට විශ්වාසදායක තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එබැවින් සංචාරයේ යෙදීමට පෙර අතිශය ප්‍රවේශමින් තත්ත්වය ගැන නැවත සොයා බලන ලෙස තමන්ට උපදෙස් ලැබී තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානය බලා පිටත් වීමට පෙර පාකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නැවත තක්සේරු කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු බදාදා (සැප්තැම්බර් 11) ශ්‍රී ලංකා රජයේ සහාය ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු අනතුරු ඇඟවීමකින් අනතුරුව එම තීරණයට එළඹුණු බවය.