ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන , හැරී පොටර් හි විස්මිත තොප්පිය (Sorting Hat ) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ , පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර , ඒ සඳහා පළමු ස්ථානය දිනාගැනීමට සමත් වී තිබේ .

ඒ.සී. ගම්මන්පිල , ඒ.පී.විජේසිංහ , ටී.එන්.වන්නිආරච්චි ,ඊ.එම්.වී.එන්.අමාජීව , ඩී.වයි.ජයසිංහ සහ පී.රවීන්ද්‍ර එස්.ද .සිල්වා එම සිසුන් පිරිසයි .

මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන් මෙසේ සඳහන් කළහ.

“මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක ඇසුරින් ක්‍රියාත්මක වෙනවා .මෙම තොප්පිය පැලඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් , ඒ බව මෙම තොප්පිය පැලඳ සිටින පුද්ගලයාට , තොප්පිය තුල සවි කර ඇති සංවේදක මගින් දැනුම් දෙනවා.

ඊට අමතරව “ඔටිසම්” රෝගය වැළඳිය ඇති දරුවන් නිතරම සමාජශීලී නැහැ . ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට භයයි,අකමැතියි. එම දරුවන්ට මෙම “ඔටිසම්” රෝගී තත්ත්වය වැළඳී ඇත්ද , නැද්ද යන්න මුලින්ම අනාවරණය කරගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා . එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් , මෙම තොප්පිය පැළඳීමෙන් , ඔවුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමග සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර කරනවා “.

මෙම ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලිය ඉකුත් නොවැම්බර් මස 26 දා සිට 29 දා තෙක් යුරෝපයේ, ආසියාවේ සහ ඇමරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණි සිසුන්ගේ සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ , මැඩ්රීඩ් නුවර පැවති අතර , එම සියලුම සිසුන් ඉදිරිපත් කළ නිර්මාණ පරදවා ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ මෙම හැරී පෝටර් තොප්පිය මෙම ජයග්‍රහණය දිනාගෙන තිබුණි .

මෙම සිසුන් පිරිස මෙම ජයග්‍රහණය ද රැගෙන , දෙසැම්බර් 01 දින රාත්‍රි 8.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් , එම විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුන් මෙන්ම ,එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරුන් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න