පළමු තරඟයෙන්ම ශ්‍රී ලංකාවට තියුණු ජයක්.

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup) ඊයේ (15) දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී ඇරඹුණා.

තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරඟ වැදුනු අතර එහිදී ලකුණු 2 – 1ක් ලෙස තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සම්ප්‍රදායානුකූල බේස්බෝල් නීති රීති වලට අනුව මෙම තරඟයේ සත්කාරක කණ්ඩායම (Home Team) ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනුව පිතිකරණයේ යෙදුණා.

තරඟයේ පළමු ඉනිමේ පළමු පිතිකරණ අවස්ථාවට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් 3දෙනෙක් දැවී ගිය අතර අවසානයේ කිසිදු ලකුණක් රැස්කර ගැනීමට අසමත් වුණා. ඉන්පසු පිතිකරණ අවස්ථාව හිමිවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ද ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදීමට ඉන්දීය ක්‍රීඩකයෝ පියවර ගත්තා.

ඉන්පසු තරඟයේ ඉනිම් 4ක් තුළදී ම කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කර ගැනීමට නොහැකි වූ අතර තරඟයේ 6 වන ඉනිමේ දී ක්‍රියාත්මක වූ ඉන්දීය ක්‍රීඩක භාරත් විසින් තරඟයේ පළමු ලකුණ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිමේ පිතිකරණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ලකුණක් රැස්කර ගැනීමට ඉන්දීය ක්‍රීඩකයන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

තරඟයේ 7 වන ඉනිමේ පළමු පිතිකරණයට පිවිසි ඉන්දීය කණ්ඩායමට කිසිදු ලකුණක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදී නියමිත දැවීම් 3 දවාගත් අතර පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලකුණ අමිල පුෂ්පකුමාර විසින් වාර්තා කිරීමට සමත් වුණා.

ඉන්පසු ක්‍රියාත්මක වූ තරඟයේ 8 වන ඉනිමේ දී කණ්ඩායම් දෙකම කිසිදු ලකුණක් ලබාගත්තේ නැහැ.

තරඟයේ අවසන් ඉනිම වූ 9 වන ඉනිමේ දී ඉන්දීය කණ්ඩායමට ලකුණු ලබාදීමකින් තොරව දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඉන්පසු තරඟයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය එක් ලකුණ ලබා ගැනීමට පිතිකරණයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු දැවීම ලබාගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වුණා. එම දැවී යාමෙන් පසු පිටියට පිවිසි නවීන් කස්තුරි මුදලි විසින් මැද පිටිය රකින ක්‍රීඩකයාට (Center Fielder) ඉහළින් එල්ල කරන ලද පහරෙන් ඔහු 3 වන බේසය (3rd Base) දක්වා යාමට සමත් වුණා. ඉන්පසු පිතිකරණයට පැමිණි සහන් අවිශ්ක එල්ල කරන ලද පහර ඉන්දීය කණ්ඩායමේ ශෝර්ට්-ස්ටොප් ක්‍රීඩකයා (Short-Stop Player) විසින් රැකගත් නමුත් ඒ වනවිට නවීන් කස්තුරි මුදලි විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ලකුණ රැස්කර ගෙන අවසන් වී තිබුණා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරඟාවලිය මෙයයි. කාණ්ඩ දෙකක් යටතේ ශ්‍රී ලංකාව , ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය සහ ඉරානය මෙම තරඟාවලිය සඳහා සහභාගී වන මෙවර බටහිර ආසියානු බේස්බෝල් ශුරතාවය සඳහා නිල ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ Citizen.lk අපයි.

ඒ අනුව තත්පරයෙන් තත්පරය තරඟයේ උණුසුම citizen.lk වෙබ් අඩවිය හරහා මෙන්ම citizen.lk ෆේස්බුක් පිටුව හරහාද ඔබට සමීප කරන්න අප සුදානම්. එමෙන්ම ජූලි 20 වනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලියේ උණුසුම සජීවීව අත්විඳින්න දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසද අප ඔබට ආරාධනා කරනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න