ශ්‍රී ලංකා පාපන්දු පිලට එංගලන්ත ක්‍රීඩකයෙක්.

එළැඹෙන පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා පැවැත්වෙන තේරීම් තරඟවලට ඉදිරිපත්වන ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත ජාතික ක්‍රීඩකයකු ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු තේරීම් කමිටුව කටයුතු යොදා ඇති බව වාර්තා වනවා.

මෙසේ එක්කර ඇත්තේ මර්වින් හැමිල්ටන් නැමැති ක්‍රීඩකයෙක්.

පසුගියදා නම් කරන ලද 31 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඔහුගේ නම ඇතුළත්ව තිබෙනවා.

ෆිෆා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකාව මුලින්ම තරඟ වැදීමට නියමිතව ඇත්තේ මැකාවූ රාජ්‍යය සමඟයි.

එම තරඟයට පෙර මර්වින් හැමිල්ටන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුවීම්වල නිරත වීමට නියමිතව ඇති බව පාපන්දු පිටියෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

ලෝක කුසලාන තේරීම් තරඟ අදියර පහක් යටතේ ක්‍රියාත්මක වනවා.

තිස්එක් හැවිරිදි මර්වින් හැමිල්ටන්ගේ මව ශ්‍රී ලාංකික ජාතිකයෙක් වීම විශේෂත්වයක්. නමුත් ඔහුගේ පියා නයිජිරියානු ජාතිකයෙක්.

අඩි 6.2 ක් උස මර්වින් මැද පෙළ ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කරන අතර ඔහු එක්සත් රාජධානියේ දකුණු ලීග් පාපන්දු තරඟාවලියද නියෝජනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මර්වින්ට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට හැකි වුවහොත් පමණක් ඔහුට මැකාවෝ සමඟ පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා පිලට දායකත්වය ලබාදීමට හැකි වනවා.