ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟයට අදත් වැස්ස අභියෝග කරයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලෝක කුසලාන තරඟය බ්‍රිස්ටල් හිදී අද පැවැත්වෙනවා.

බංග්ලාදේශය මෙම තරඟය සඳහා සිය ප්‍රබලතම ක්‍රීඩකයා වන ශකිබ් අල් හසන්ගේ සහභාගීත්වය පිළිබද අවිනිශ්චිතභාවයෙන් පසු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ප්‍රදීප් පුහුණුවීමේදී තුවාල ලැබීම නිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් අද තරඟයට සහභාගි වන්නේ නැහැ.

ඒ වගේම කණ්ඩායම් දෙකම අද තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ අවදානම පිළිබදව අවධානයෙන් පසුවන බවයි බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළේ.

එරට කාලගුණ අංශ කියා සිටියේ තරඟය පැවැත්වෙන බ්‍රිස්ටල් ප්‍රදේශයට අද වැසි සහිත කාලගුණයක් පවතින අතර කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී මෙන්ම පස්වරු 2ට පමණ වැසි ඇද හැලීමේ සියයට 50ක අවස්ථාවක් පවතින බවයි.

මේ අතර, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර සවුතැම්ප්ටන්හිදී ඊයේ පැවති අයි.සී.සී, ලෝක කුසලාන තරඟය වර්ෂාව නිසා අතහැර දැමුණා. කාසියේ වාසිය දිනූ කොදෙව් පිළ පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස දකුණු අප්‍රිකාවට ආරාධනා කළා.

එහෙත් පන්දු වාර 7යි පන්දු 3කදී දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 29ක් ලබා සිටියදී වර්ෂාව ඇද හැළුණු අතර, කාලගුණ තත්ත්වය යහපත් නොවූ නිසා පසුව තරඟය අතහැර දැමීමට තීරණය කෙරුණා.

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වනවා.