> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# SLIMFA නව නිල මණ්ඩලය තේරී පත්වෙයි
- URL: https://www.citizen.lk/slimfa-elects-new-official-board/
- Published: 2026-11-02T02:05:50.000Z
- Updated: 2026-11-02T02:05:50.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විශේෂාංග

November 02 (Citizen News) - ලංකා - ඉන්දීය මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ (SLIMFA) වාර්ෂික මහා සභාව එහි අනුශාසක ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ගේ ප්‍රධානත්වයෙන්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂණී තොම්සන්, ප්‍රවීණ පුවත්පත් කර්තෘවරුන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය ඔක්තෝබර් 28 වැනි දින කොළඹ තාජ් සමුද්‍ර හෝටලයේදී පවත්වන ලදී.

එහිදී මහා සභාවේදී ඉදිරි දෙවසර සඳහා නව විධායක කමිටුව තෝරා ගනු ලැබූ අතර, නිස්තාර් කාසිම් නැවත වරක් සභාපතිවරයා ලෙසත්, ෂෙහාන් බරණගේ, කලනි කුමාරසිංහ, ඊල්මී අලි, සන්තෝෂ් මෙනන්, දිනේෂ් ද අල්විස්, අරෝෂ ප්‍රනාන්දු, තාරක වික්‍රමසේකර, රොබට් ඇන්තනී, දිල්රුක්ෂි හදුන්නෙත්ති සහ මහේෂ් බණ්ඩාර විධායක කමිටු සාමාජිකයන් ලෙසත් තෝරා පත් විය.

ඉන්දීය ලංකා මාධ්‍ය සම්බන්ධතා සහ සහයෝගිතාව වර්ධනය කිරීමෙහිලා SLIMFA ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳ අගය කළ මහ කොමසාරිස්වරයා, පිහිටුවා කෙටි කාලයක් තුළ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කිරීම පිළිබඳව සංගමයට සුබ පැතුම් එක් කළේය.

SLIMFA පිහිටුවීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රථම 'මාධ්‍ය උළෙල' (Media Fest) සහ 2026 වසරේ එහි දෙවැනි අදියර, මාධ්‍ය වෘත්තීකයන් සඳහා කෙරෙන කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂ වැඩමුළුවක්, මෙරටට පැමිණි ඉන්දීය මාධ්‍යවේදීන් සමඟ හමුවීම්, කර්තෘවරුන්ගේ වටමේස සාකච්ඡාවක් පැවැත්වීම මෙන්ම මාධ්‍ය භාවිතයන් සහ මැතිවරණ වාර්තාකරණය පිළිබඳ සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී.

එමෙන්ම ඉදිරියේදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෘත්තීකයන් අතර වෘත්තීය ජාල ශක්තිමත් කිරීමත්, වඩාත් පුළුල් සහයෝගිතාවක් ඇති කිරීමත් අපේක්ෂා කෙරේ. එමඟින් දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ජනතාව අතර පවතින සබැඳියාව තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.