SLBC සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක අද පාර්ලිමේන්තුවට කැඳවයි

මහතා ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි කථානායකවරයා පාර්ලිමේන්තුවට කැඳවූ බව කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීමේ වගකීම දරණ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එම විකාශනය අත්හිටුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා මෙසේ ඔවුන්ව පාර්ලිමේන්තුවට කැඳවා තිබේ.

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ පූර්ණ ස්වාධිනත්වයෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරිමේ අවශ්‍යතාවය මෙහිදී කථානායකවරයා පෙන්වා දුන් බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධින රූපවාහිනී ආයතනය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇති බවද කථානායකවරයා මෙහිදී සඳහන් කර තිබේ.

කථානායකවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාළ උපදෙස් නිකුත් කරනු ලබන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.

ගුවන් විදුලි සංස්ථාවේ සජීවී විකාශනය අත්හිටුවීම පිළිබඳව ස්වකීය කණගාටුව ප්‍රකාශ කර ඇති ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා හැකි ඉක්මණින් එම තත්වය නිවැරදි කරන බවට ප්‍රකාශ කර ඇත. රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බවට අද (05) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් සිය අදහස් දැක්වීය.