නෙළුම් කුලුණේ කෝටි 200ක් ගත් බව කියන ALIT සමාගම ගැන බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපතිගේ ප්‍රතිචාර

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා සම්බන්ධ වී සිටි ඇලිට් (ALIT) නම් චීන සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව වෙත කිසිදු දැනුම් දීමකින් තොරව එම ව්‍යාපෘතියෙන් ඉවත් වී ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ අදාළ සමාගම පිළිබඳ සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමාට දුරකථනයෙන් දැනුම් දීමක් සිදු කළ බවත් ඒ අනුව තමන් සිදු කළ විමර්ශනයේ දී මෙම කරුණු අනාවරණය වු බවත්ය.

පසුගිය 16 වන දින නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයට එක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ නෙලුම් කුලුන ව්‍යාපෘතිය වෙනුවෙන් චීනයේ ඇලිට් නම් සමාගමට පසුගිය රජය විසින් රුපියල් කෝටි 200ක මුදලක් ලබා දී ඇති බවත් පසුව කළ සොයා බැලීමකදී එවන් ආයතනයක් පිළිබඳ කිසිදු තැනක සඳහනක් නොමැති බවත්ය.

එම ප්‍රකාශයෙන් පසුව නෙලුම් කුලුන ව්‍යාපෘතියේ දී සිදුව ඇති බව කියන මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳ දැඩි කතා බහට ලක්ව ඇති පසුබිමක නිවේදනයක් නිකුත් කරමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටින්නේ ඇලිට් නම් සමාගම වෙනත් ස්ථානයක ස්ථාපිතව ඇති බව දැන ගැනීමට ලැබුණු බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව වෙත කිසිදු දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවත්ය.

පසුව තමා එම ස්ථානයට ගොස් ඇලිට් සමාගමේ නිලධාරීන් හමුවු බවත් අදාළ සමාගම ඒ වන විට නෙලුම් කුලුන ව්‍යාපෘතියෙන් ඉවත්ව සිටින බව ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කරයි.

ඉහත කරුණු පිළිබඳව තමා විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කළ බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ නිවේදනයේ සඳහන්ය.

එම නිවේදනය පහතින් දැක්වෙයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න